එන්ඩීබී (NDB) බැංකුවේ සිදුව ඇති බව කියන රුපියල් බිලියන 13.6 ක මූල්‍ය වංචාව හෙළිදරව් වීමත් සමඟ, ඊට සම්බන්ධ වූ Ernst & Young (EY) විගණන ආයතනයේ හවුල්කරුවන්ට ඉදිරියේදී බැංකු විගණනයන් සිදුකිරීම වැළැක්වෙන පරිදි සීමා පනවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) රැස්වූ අවස්ථාවේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ ආර්. ආර්. එස්. ද සිල්වා ජයතිලක මහත්මිය මේ බව තහවුරු කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ අදාළ බැංකුවේ විගණන කමිටුව ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව කිසිදු පාර්ශ්වයක් දැනුවත්ව නොසිටි බවයි. නියාමන ක්‍රියාවලිය තුළ පවතින මෙවැනි බරපතළ මූල්‍ය කරුණු සම්පූර්ණයෙන්ම රහසිගතව පවත්වාගෙන යා යුතු යැයි තමන් නොසිතන බවත්, මූල්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය රැකගැනීම අත්‍යවශ්‍ය බවත් ඔහු කාරක සභාව හමුවේ අවධාරණය කළේය.