ඉන්දීය සාගර කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමුද්‍රීය ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ඉන්දීය සාගර වටද්දර රටවල සංගමයේ 25 වැනි අමාත්‍ය මණ්ඩල හමුවේදී 2026 දිල්ලි ඒකාබද්ධ ප්‍රකාශය සම්මත කර තිබේ.
නොවැම්බර් 27 වැනිදා නවදිල්ලියේදී පැවති හමුවේ සභාපතිත්වය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා දැරීය. සාමාජික රටවල් 23ක සහ සංවාද හවුල්කරුවන් 12ක විදේශ අමාත්‍යවරුන් හා නියෝජිත කණ්ඩායම් ප්‍රධානීහු ඊට සහභාගි වූහ.
ඉන්දීය ANI ප්රවෘත්ති සේවයට අනුව, නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහස, බාධාවකින් තොර වෙළෙඳාම සහ ආරවුල් සාමකාමීව විසඳීම සඳහා අදාළ ජාත්‍යන්තර නීතිය පිළිපැදීම දිල්ලි ප්‍රකාශයෙන් අවධාරණය කර ඇත. නෞකා සහ නාවිකයන්ගේ ආරක්ෂාවට එල්ල වන තර්ජන පිළිබඳවද සාමාජික රටවල් කනස්සල්ල පළ කර තිබේ.
රටවල ස්වෛරී සමානාත්මතාව, භෞමික අඛණ්ඩතාව සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්මවලට ඇති කැපවීමද එහිදී යළි තහවුරු කර ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හමුව ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, එකඟ වූ ප්‍රමුඛතා ක්‍රියාත්මක කර වෙරළබඩ ජනතාවට සැබෑ ප්රතිලාභ ලබාදිය හැකි සහයෝගිතාවක් ගොඩනැඟිය යුතු බව පෙන්වා දුන්නේය.
සමුද්‍රීය ආරක්ෂාව, ධීවර කටයුතු, ආපදා සූදානම සහ සාගර සම්පත් තිරසර ලෙස යොදාගනිමින් ආර්ථිකය දියුණු කිරීම එහි ප්රමුඛ ක්ෂේත්‍ර ලෙස ඔහු සඳහන් කළේය. වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කලාපීය සංවිධානයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සහාය දක්වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
දේශගුණික විපර්යාස, සාගර දූෂණය සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ අභියෝගවලට මුහුණදීම සඳහා අඛණ්ඩ සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය බවද හේරත් මහතා පැවසීය. 2023–2025 කාලයේ සංගමයේ සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකාව, වත්මන් හා ඉදිරි සභාපති රටවල් සමඟ කටයුතු කරන ත්‍රිත්ව නායකත්වයේ සාමාජිකයකු ලෙස ඉදිරියටත් සහයෝගය ලබාදෙන බව ඔහු සඳහන් කළේය.
හමුවේදී සාගර විද්‍යාව සහ සමුද්‍රීය නීතිය සම්බන්ධ විශිෂ්ටතා මධ්‍යස්ථාන දෙකක් ඉන්දියාවේ පිහිටුවීමේ යෝජනාවලටද අනුමැතිය ලැබිණි. සංගමයේ ආයතනික හා මූල්‍ය ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක ප්‍රදානයක් ලබාදෙන බව ඉන්දියාව නිවේදනය කළ අතර, 2028–2032 ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳවද අමාත්‍යවරු සාකච්ඡා කළහ.




