අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සතු ජාතික අපරාධ තොරතුරු දත්ත පද්ධතියට හැකර්වරුන් අනවසරයෙන් ඇතුළු වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර අපරාධ තොරතුරු හුවමාරු කර ගැනීමට භාවිත කරන National Crime Information Center (NCIC) පද්ධතිය මෙලෙස සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවට සැක පළ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අපරාධකරුවන්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයන් සහ සොරකම් කරන ලද දේපළ ඇතුළු වැදගත් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා මෙම දත්ත පද්ධතිය යොදා ගැනේ. පසුගිය මාස කිහිපය තුළ NCIC පද්ධතියේ ආරක්ෂාව කඩ වී ඇති බවට වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙය බව අමෙරිකානු මාධ්‍ය සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙවර සිදුවීමෙන් අනාවරණය වී ඇති දත්ත ප්‍රමාණය හෝ පද්ධතියට සිදු වූ බලපෑම පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් FBI ආයතනය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව වාර්තා වේ.



