අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර අද (10) ආරම්භ කළ අතර, එමගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල පවුල් 67,000කට පිරිසිදු පානීය ජලය ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
1990 දශකයේ සිට මෙම ප්‍රදේශවල පැතිර ගිය හඳුනාගත නොහැකි වකුගඩු රෝගයට (CKD) පිරිසිදු පානීය ජලය නොමැතිකම ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම ව්‍යාපෘතිය ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන වැදගත් පියවරක් බව සඳහන් කළේය.
තවද, රටේ පවුල්වලින් සියයට 60කට පමණක් පිරිසිදු පානීය ජල පහසුකම් හිමිව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, ලබන වසරේ රුපියල් කෝටි 2,000ක වියදමින් නව පානීය ජල ව්‍යාපෘති 22ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, එමගින් තවත් ලක්ෂ 10ක පමණ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා පොහොර සහනාධාරය ඉහළ නැංවීම, වගා හානි සඳහා වන්දි ලබාදීම සහ වාරි ජල ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු පියවර රැසක් රජය ගෙන ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




