2018 සිට 2021 දක්වා කාලයේ ආරම්භ කළ අතරමඟ නතර වූ අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති 72කින් 20ක් කොන්ත්‍රාත් ගැටලු හේතුවෙන් තවමත් ඇණහිට ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. එම ව්‍යාපෘති 72 වෙනුවෙන් රුපියල් මිලියන 1,664ක් පමණ වැය කර ඇති බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

අදාළ ව්‍යාපෘති අතරින් 35ක් මේ වන විට නිම කර ඇති අතර, තවත් 13ක ඉදිකිරීම් හෝ වැඩ කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ. ව්‍යාපෘති 4ක් අත්හිටුවා ඇති අතර, කොන්ත්‍රාත් ගැටලු විසඳා ඇණහිට ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දැනුම් දී ඇත.

මේ අතර, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් තුනක් බැගින් පිහිටුවීමේ වැඩසටහන පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ. ඒ යටතේ තෝරාගත් පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ උපකරණ මිලදී ගැනීමට 2019 වසරේදී රුපියල් මිලියන 1,600කට ආසන්න මුදලක් වෙන් කළ බව නිලධාරීහු පැවසූහ.

එම වැඩසටහන ඉදිරියට ගෙන නොයෑමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින්, එක් එක් පාසලට වෙන් කළ මුදල් සහ සිදු කළ වැඩ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඉල්ලා සිටින බවද සඳහන් වේ.