බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වී ඇති ‘අක්වාන්’ (Akvan) ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (18) පස්වරු 3ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (19) පස්වරු 3 දක්වා වලංගු වන අතර, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත.
අද (18) පෙ.ව. 11.30 පමණ වන විට මෙම ප්‍රබල සුළි කුණාටුව ත්‍රිකුණාමලයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 680ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතිය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 20 දින උදෑසන 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයේ නෙලෝර් (Nellore) සහ විශාකාපට්නම් (Visakhapatnam) අතරින් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත්, දැනටමත් එම ප්‍රදේශවල යෙදී සිටින පිරිස් ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කරන ලෙසත් දන්වා තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
