මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රුපියල් ලක්ෂ 210ක අල්ලසක් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න ජයනාත් අල්විස් වීරක්කොඩි ලබන 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර තිබේ.

කළුතර සහ අලුත්ගම සුරාබදු අධිකාරී ලෙස සේවය කර ඇති සැකකරුගේ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙන්ඩිස් සමාගම නීත්‍යනුකූලව රජයට ගෙවිය යුතු බදු මුදල් අඩු කර පෙන්වීම සඳහා සැකකරු 2015 සහ 2016 වර්ෂවලදී චෙක්පත් පහළොවක් මඟින් මෙම මුදල් ලබාගෙන ඇති බවයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පර්පචුවල් ට්‍රෙසරිස් සමාගමේ ගිණුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂා කිරීමේදී මෙන්ඩිස් සමාගම නිකුත් කළ අදාළ චෙක්පත් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර, 2025 වසරේදී එම දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ තවදුරටත් විමර්ශන සිදු කෙරේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා, සැකකරුගේ දියණිය දැඩි රෝගී තත්ත්වයෙන් පසුවීම සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, සැකකරුගේ ඥාතීන්ගෙන් සහ මෙන්ඩිස් සමාගමේ හිටපු බලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බැවින් විමර්ශන අවසන් නොමැති බව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, විමර්ශන කඩිනමින් අවසන් කර ලබන 01 වැනිදා ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.