JPMorgan, Visa සහ Mastercard යන මූල්‍ය සේවා ආයතනවල ගනුදෙනුකරුවන් දහස් ගණනකට අයත් පෞද්ගලික තොරතුරු රැන්සම්වෙයාර් (Ransomware) සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අනාවරණය වී ඇති බව ෆොක්ස් නිවුස් (Fox News) වාර්තා කරයි. මෙම ප්‍රහාරය අදාළ සමාගම් සමඟ කටයුතු කරන තෙවන පාර්ශ්වීය ව්‍යාපාරික හවුල්කරුවන් ඉලක්ක කර එල්ල වී ඇති බව සඳහන් වේ.
වාර්තාවලට අනුව, JPMorgan බැංකුවේ ඉහළ වත්කම් සහිත ගනුදෙනුකරුවන් 16,000කට පමණ අයත් විද්‍යුත් තැපැල් ලිපින, දුරකථන අංක සහ ගිණුම් හඳුනාගැනීමේ අංක ඇතුළු තොරතුරු මෙලෙස අනාවරණය වී තිබේ. එමෙන්ම, ආසියා-පැසිෆික් කලාපයේ පිහිටි තෙවන පාර්ශ්වීය සේවා සපයන්නකු හරහා මෙම සයිබර් ප්‍රහාරය සිදු වී ඇති බව Visa සමාගම සඳහන් කර ඇත.
කෙසේ වුවද, තම ප්‍රධාන ගෙවීම් ජාලවලට හෝ ගනුදෙනුකරුවන්ගේ බැංකු කාඩ්පත් අංකවලට මෙම ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදු වී නොමැති බව JPMorgan, Visa සහ Mastercard යන සමාගම් තුනම අවධාරණය කර තිබේ.
මේ අතර, මෙම දත්ත අනාවරණය කිරීමේ වගකීම ‘n0n’ නමැති සයිබර් අපරාධ කණ්ඩායමක් භාරගෙන ඇති බව වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වෙමින් පවතින බව සඳහන් වේ.

