ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ අරමුණ එක් පුද්ගලයෙකු ඉවත් කිරීම පමණක් නොව, දූෂණයට සහ බලවත් පාර්ශ්වයන්ට එරෙහිව කටයුතු කරන අනෙකුත් මාධ්‍යවේදීන් හා වෘත්තිකයන්ට අනතුරු ඇඟවීමක් ලබාදීම බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී.

ලසන්ත වික්‍රමතුංග සමඟ පෞද්ගලිකව හමුවී නොතිබූ තමන්ට ඔහු පිළිබඳ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ආරාධනා කිරීමට හේතුව ලෙස, ලසන්තගේ මාධ්‍ය භාවිතය සහ තමන් දූෂණයට එරෙහිව සිදුකරන කාර්යයන් අතර සමානත්වයක් පැවතීම විය හැකි බව ඔහු සඳහන් කළේය.

ලසන්ත ඝාතනය කළ පුද්ගලයන් පිළිබඳව නිශ්චිතව තහවුරු කර නොමැති නමුත්, ඔහු ඝාතනය වීමට හේතුව ලෙස දූෂණයට හා බලවතුන්ගේ අක්‍රමිකතාවලට එරෙහිව ඔහු කටයුතු කිරීම පැහැදිලි බවද ඔහු පැවසීය.

එම ඝාතනයෙන් සමාජයට ලැබුණු පණිවිඩය වූයේ බලවතුන්ට එරෙහිව වෙනස්ව සිතීමට හෝ කටයුතු කිරීමට උත්සාහ නොකරන ලෙසට වූ අනතුරු ඇඟවීමක් බවද රංග දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>