ශ්‍රී ලංකා ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහළ මට්ටමකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීම සහ වෘත්තිකයන් මුහුණ දී සිටි ආදායම් බදු පීඩනයට සහන සැලසීම වත්මන් රජය ගත් පියවරක් ලෙස බැංකු වෘත්තිකයන්ගේ සංගමයේ ඇගයීමට ලක්ව තිබේ. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ නියෝජිත සමීර අල්විස් මේ බව ප්‍රකාශ කළේය.
සමීර අල්විස් මහතා සඳහන් කළේ 2025, 2026 සහ 2027 වසර තුන සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 110 බැගින් වසර තුනකට රුපියල් කෝටි 33,000ක් වෙන් කෙරුණු බවය. ඊට අමතරව 2025 වර්ෂය සඳහා තවත් රුපියල් කෝටි 11,000ක් අලුතෙන් වෙන් කිරීමට සිදු වූ බවත්, 2026 වර්ෂය සඳහාද තවත් රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමත් සමඟ මෙම වසර තුන ඇතුළත ලක්ෂ 13ක් පමණ වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා සමස්තයක් ලෙස රුපියල් කෝටි 66,000ක මුදලක් රජය වෙන් කර ඇති බවත් ඔහු පැවසීය.
මෙවර අයවැය මගින් වැටුප් ඉහළ දැමීමට අමතරව රජයේ නිලධාරීන් ඇතුළු පිරිස් වෙත ලබා දෙන විවිධ දීමනාද විශාල ලෙස ඉහළ නංවා ඇති බව ඔහු අවධාරණය කළේය.
වෘත්තිකයන් මත පැටවී තිබූ ඉහළ ආදායම් බදු සම්බන්ධයෙන් තම සංගමය දීර්ඝ කාලයක් තිස්සේ අරගල කළ බව සිහිපත් කළ අල්විස් මහතා, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2025දී සිදු කළ ආදායම් බදු සංශෝධන හරහා රුපියල් 21,500ක වාසියක් වෘත්තිකයන්ට හිමි වූ බව කීවේය. එසේම මෙවර සිදු කළ ආදායම් බදු සංශෝධන මගින්, විශේෂයෙන්ම 36%ක් පමණ වූ ඉහළ ආදායම් බදු කාණ්ඩයට අයත් වෘත්තිකයකුට මසකට රුපියල් 15,250ක පමණ ඉතිරියක් ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ගෙවුණු වසර දෙක තුළ රජය මගින් සාමාන්‍යයෙන් රුපියල් 36,000කට ආසන්න සහනයක් ලබා දී ඇති බවත්, වෘත්තිකයන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ගැටලු කෙරෙහි ප්‍රායෝගික අවධානය යොමු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු රජයට සංගමයේ ස්තූතිය පිරිනමන බවත් සමීර අල්විස් වැඩිදුරටත් පැවසීය.




