වත්මන් රජය යටතේ සිදුකරන රාජ්‍ය සේවා බඳවාගැනීම් සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මේ වනවිට රාජ්‍ය සේවයට පුද්ගලයන් 25,000කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති අතර, එම පත්වීම් කිසිවක් අමාත්‍යවරුන් හෝ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත ලබාදී නොමැති බවයි.

යම් බඳවාගැනීමකදී අසාධාරණයක් සිදුවී ඇති බවට හැඟෙන්නේ නම් ඒ පිළිබඳ රජයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා, එවැනි අවස්ථාවල සාධාරණත්වය තහවුරු කිරීමට රජය මැදිහත් වන බවද පැවසීය.

කෙසේවෙතත්, ඇතැම් අවස්ථාවල රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් ගැටලු මතුවන බවද ඔහු පිළිගත්තේය. බස්නාහිර පළාතේ විදුහල්පති පත්වීම් කිහිපයක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව ලිඛිත තොරතුරු කැඳවා, ඒවා විමර්ශනය කිරීම සඳහා වෙනම කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් මුදා ගැනීම රජයේ ප්‍රතිපත්තිය බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, වසර ගණනාවක් පැවති පද්ධතියක් එකවර වෙනස් කිරීම පහසු නොවන අතර, එම ප්‍රතිසංස්කරණ ක්‍රමයෙන් ඉදිරියට ගෙන යන බවද ප්‍රකාශ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ Youtube නාලිකාව හරහා නරඹන්න. >>>>>>>>>>>