පරිශීලකයන් වෙනුවෙන් සෘජුවම අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදු කර භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම සලසන ‘ChatGPT Wallet’ නමැති නව ඩිජිටල් ගෙවීම් පද්ධතිය OpenAI සමාගම විසින් නිල වශයෙන් හඳුන්වා දී තිබේ.

මෙම නව විශේෂාංගය හරහා OpenAI හි ‘dots’ නමැති කෘත්‍රිම බුද්ධි නියෝජිතයන්ට මිනිස් මැදිහත්වීමකින් තොරව අන්තර්ජාල සාප්පු සවාරි කටයුතු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය අවකාශය සැකසී ඇත.

මූලික අදියර යටතේ එක්සත් ජනපදය තුළ වෙසෙන, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ‘ChatGPT Pro’ ග්‍රාහකයින් සඳහා පමණක් මෙම සේවාව සීමා කර ඇත.

ඇමරිකන් එක්ස්ප්‍රස්, මාස්ටර්කාඩ් සහ වීසා වැනි ලොව ප්‍රමුඛතම ගෙවීම් ජාලයන් සමඟ ඇති කරගත් සහයෝගීතාව මත ගොඩනගා ඇති මෙම පද්ධතිය මඟින් පාරිභෝගිකයින්ට සිය පවතින ක්‍රෙඩිට් කාඩ්පත්වල වරප්‍රසාද සහ ආරක්ෂණ ප්‍රතිලාභ නොවෙනස්ව භුක්ති විඳීමට අවස්ථාව ලැබී තිබේ.

මෙම පහසුකම භාවිත කිරීමේදී පරිශීලකයා සිය බැංකු කාඩ්පත් විස්තර පද්ධතියට ඇතුළත් කළ යුත්තේ එක් වරක් පමණක් වන අතර, අනතුරුව භාණ්ඩය තෝරාගැනීමෙන් පසු ඒ සඳහා අවසන් අනුමැතිය ලබාදීම විශේෂිත ආරක්ෂක පරීක්ෂාවක් හරහා සිදු කෙරේ.

මෙහිදී කෘත්‍රිම බුද්ධි නියෝජිතයන්ට පරිශීලකයාගේ සැබෑ කාඩ්පත් තොරතුරු වෙත සෘජුව ප්‍රවේශ වීමට අවසර නොමැති අතර, ඒ වෙනුවට අදාළ ගෙවීම් ජාලයන් හරහා එක් එක් ගනුදෙනුවට පමණක් සීමා වූ සංකේතාත්මක ආරක්ෂිත ගෙවීම් ටෝකනයක් පමණක් නියෝජිතයා වෙත සපයනු ලැබේ.

නව ගෙවීම් ක්‍රමය ඔස්සේ සිදුවන මිලදී ගැනීම් හරහා අනාගතයේදී නව ආදායම් මාර්ග විවෘත වුවද, ආරම්භක පියවරක් ලෙස මෙහිදී සිදුවන ගනුදෙනුවලින් කිසිදු කොමිස් මුදලක් හෝ ප්‍රතිශතයක් අය නොකිරීමට සමාගම තීරණය කර ඇත.

කෙසේ වෙතත්, ස්වයංක්‍රීය AI නියෝජිතයන් හරහා සිදුවන වාණිජ්‍යය හමුවේ යුනයිටඩ් එයාර්ලයින්ස් සහ ඇමසන් වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් සිය වෙබ් අඩවි හරහා එවැනි නියෝජිතයන්ට ඇති ප්‍රවේශය අවහිර කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි.