ඩෙංගු මදුරුවන් බෝ වන අන්දමින් පරිශ්‍ර පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැනට පනවනු ලබන රුපියල් 5,000ක දඩ මුදල, රුපියල් 25,000 සිට 50,000 දක්වා ඉහළ දැමීම සඳහා වන නීතිමය සංශෝධන සකස් කරමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පවසයි.

මෙම දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා වන අදාළ නීති කෙටුම්පත මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය සහ උපදෙස් සඳහා යොමු කර ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ප්‍රකාශ කරන්නීය.

මේ වසර තුළ ක්‍රියාත්මක කරන ලද ජාතික ඩෙංගු මර්දන වැඩසටහන් 7ක් ඔස්සේ දිවයින පුරා පරිශ්‍ර 459,707ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී පාසල් 1,739න් 34%කත්, ආගමික ස්ථාන 1,911න් 21කත්, රාජ්‍ය ආයතන 2,909න් 20%කත් සහ නිවාස 372,387න් 8%කත් මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන තිබේ.

මේ අතර, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ ‘ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක්’ද පසුගිය 09 වැනිදා ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.