පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ඡන්ද ක්‍රමය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ උතුරේ දේශපාලන පක්ෂ තුනක් සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. කාන්තා සහ තරුණ නියෝජනය වැඩි කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා කළ බව පාර්ලිමේන්තුව නිවේදනය කළේය.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවති සාකච්ඡාවට ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) වෙනුවෙන් කේ. ප්‍රේමචන්ද්‍රන්, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් රාමසාමි රාජේන්ද්‍රන් සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) වෙනුවෙන් ශන්මුගනාදන් සන්ජීවන් යන මහත්වරු සහභාගි වූහ. එක් එක් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවල විස්තර පාර්ලිමේන්තු නිවේදනයේ සඳහන් කර නැත.

මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවද කාරක සභාවට තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. සමානුපාතික ඡන්ද ක්‍රමය සහ ප්‍රතිඵල තීරණය කරන ක්‍රමවේදය පවත්වාගෙන යමින් කාන්තා හා තරුණ නියෝජනය වැඩි කළ හැකි ආකාරය එම වාර්තාවෙන් යෝජනා කර තිබේ.

දේශපාලන පක්ෂ සහ අදාළ ආයතන ඉදිරිපත් කරන කරුණු සලකා බලා, පළාත් සභා මැතිවරණයට යොදාගත යුතු ඡන්ද ක්‍රමය පිළිබඳ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කාරක සභාවේ කාර්යයයි.