දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ බෞද්ධ විහාරස්ථාන 632ක් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, අර්ධ හානි සිදු වූ විහාරස්ථානයකට රුපියල් ලක්ෂ 25ක මුදලක්ද, පූර්ණ හානි සිදු වූ විහාරස්ථානයකට රුපියල් ලක්ෂ 75ක මුදලක්ද ලබාදීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

ආපදාවට ලක් වූ ආගමික ස්ථාන අතර බෞද්ධ විහාරස්ථාන 835ක් තිබූ බවත්, මූලික ගෙවීම් සහිත ලැයිස්තුව නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව අර්ධ හා පූර්ණ හානි සිදු වූ විහාරස්ථාන 632ක් හඳුනාගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම දිට්වා සුළි කුණාටුවේදී ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විහාරස්ථාන විශාල දායකත්වයක් ලබාදුන් බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පෙරහැර නතර වනු ඇතැයි පැවති අදහස්වලට පටහැනිව, නතර වී තිබූ පෙරහැර නැවත ආරම්භ කිරීමට කටයුතු කළ බවද සඳහන් කළ අමාත්‍යවරයා වසර හතක් නතර වී තිබූ යාපහුව රජමහා විහාරයේ දළදා පෙරහැර නැවත ආරම්භ කිරීමද ඊට උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>