හෝමාගම ප්‍රාදේශීය සභාව සඳහා හඳුන්වා දුන් සභා ගීතයක පිටපත් අනවසරයෙන් ඉවත් කර ගැනීමේ සිද්ධියක් බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) හෝමාගම මූලස්ථාන පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
හෝමාගම ප්‍රාදේශීය සභාව පළමු වරට සභා ගීතයක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගෙන තිබුණි. එම ගීතයේ මුල් පිටපත සියලු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබුණද, මහා සභා රැස්වීම පැවති දිනයේදී ඊට හාත්පසින්ම වෙනස් පිටපතක් ලබා දී එය වාදනය කළ බව විපක්ෂ මන්ත්‍රීවරු පවසති.
ඊට විරෝධය පළ කළ විපක්ෂ මන්ත්‍රීවරුන් තේ පානය සඳහා පිටව ගොස් සිටි අවස්ථාවේ ඔවුන්ගේ ලිපිගොනු අතර තිබූ සභා ගීතයේ පිටපත් අනවසරයෙන් ඉවත් කර ඇති බවට ඔවුහු චෝදනා කරති. මෙවැනි තත්ත්වයක් තුළ සිය ලිපිගොනු අතරට මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතුළත් කර තමන් අපහසුතාවට පත් කිරීමේ අවදානමක්ද පවතින බව විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම, වත්මන් සභාපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ ප්රජාතන්ත්රවාදී අයිතියට බාධා කරන බවටද ඔවුහු චෝදනා කරති.
හෝමාගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනාගෙන් 16 දෙනකු මෙම ලිඛිත පැමිණිල්ලට අත්සන් තබා ඇති බව සඳහන් වේ. පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණිල්ල භාර දීම සඳහා හෝමාගම පොලිසියට පැමිණ සිටියහ.



