මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකරුවන් සිය ප්‍රකාශ ඉදිරිපත් කිරීම නොවැම්බර් 12 වැනිදා අවසන් කළහ. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නඩුව නොවැම්බර් 19 වැනිදා පෙරවරු 9.30ට යළි කැඳවීමට දින නියම කළේය.

විත්තිකරුවන් නවදෙනාගේ ප්‍රකාශ අවසන් වූ පසු, තුන්වැනි විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකරුවන් හයදෙනකු සහ සිව්වැනි විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකරුවන් දෙදෙනකු කැඳවීමට විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියහ. එම සාක්ෂිකරුවන් අටදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම නොවැම්බර් 5 වැනිදා අවසන් විය. එම සාක්ෂි චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බව පවසමින්, විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියහ. එම ඉල්ලීම නොවැම්බර් 6 වැනිදා ප්‍රතික්ෂේප කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට සිය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නේය.

එක්නැලිගොඩ 2010 ජනවාරි 24 වැනිදා අතුරුදන් විය. ඔහු පැහැරගෙන ගොස් රහසිගතව රඳවා තැබූ බවට වන චෝදනා ඇතුළු අධිචෝදනා 17ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.