බහරේනයේ ස්ථාපිත අමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට ඉරානය ප්‍රකාශ කිරීමත් සමඟ, ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසු එරට ප්‍රථම වරට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. අමෙරිකාව සහ ඉරානය අතර මාස නවයකට ආසන්න කාලයක් පවතින ගැටුම්කාරී වාතාවරණය සමථයකට පත් කරගැනීමේ අවිනිශ්චිතතාවක් පවතින අතරතුර මෙම තත්ත්වය හටගෙන තිබේ.

අමෙරිකාවේ සතුරු ක්‍රියාකලාපයන්ට ප්‍රතිචාරයක් ලෙස බහරේනයේ ‘අල්-රිෆා’ හෙලිකොප්ටර් කඳවුරේ පිහිටි ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධතියක් වෙත ඩ්‍රෝන යානා හයක් යොදවා පහර දුන් බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය සඳහන් කර ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු හෝ බහරේන් බලධාරීන් මෙතෙක් සෘජු ප්‍රකාශයක් හෝ තහවුරු කිරීමක් සිදු කර නොමැත.

අමෙරිකානු නාවික හමුදාවේ පස්වන බලඇණිය ස්ථානගත කර ඇති බහරේනය තුළ පවතින ආරක්ෂක අවදානම සැලකිල්ලට ගනිමින්, කලබල නොවී ළඟම පිහිටි ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පුරවැසියන්ට සහ විදේශිකයන්ට දැනුම් දී තිබේ. මීට දින දෙකකට පෙරද මෙවැනිම රේඩාර් පද්ධතියක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයක් ව්‍යර්ථ කරමින් ඉරාන ඩ්‍රෝන දෙකක් විනාශ කළ බව අමෙරිකානු හමුදාව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.