අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒම පිළිබඳව විමර්ශන කිරීමට ඊයේ (22) දින පස්වරුවේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී විය.
මෙහිදී, 2026 අයවැයෙන් අම්පාර දිස්ත්‍රික්ක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 22,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එය මාර්ග, වාරි, පානීය ජල හා නිවාස ව්‍යාපෘති සඳහා යොදවමින් ජනතාවට කඩිනමින් ප්රතිලාභ ලබා දීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
නැගෙනහිර පළාතේ ඉඩම් අනවසර අල්ලා ගැනීමේ ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කරමින්, ඉඩම් ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
එසේම, සමුද්‍ර ඛාදනයෙන් දැඩි බලපෑමට ලක්ව ඇති නැගෙනහිර වෙරළ තීරය රැක ගැනීම හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා කඩිනම් සැලැස්මක් සකස් කරන ලෙස උපදෙස් දෙන අතර, ගල්ඔය පිටාර ගැලීම හා ඒ අවට ගංවතුර තත්ත්වය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා ස්ථීර විසඳුමක් සොයා ගැනීමට කඩිනම් අධ්‍යයනයක් සිදු කරන ලෙසද ඔහු නියෝග කළේය.
අවසානයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා අධ්‍යාපන කලාප වැනි පරිපාලන ව්‍යුහ ජාතික පදනමකට නොව, භූමියේ විශාලත්වය හා ජනගහනය වැනි පොදු නිර්ණායක මත පදනම් විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.





