ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සංස්කෘතික හා ආගමික අනන්‍යතාව විදහා දක්වමින් ඉදි කෙරෙන වාරණාසි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 2026 දෙසැම්බර් 2 වැනිදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව ඇත.
අක්කර 30කට අධික භූමියක පැතිර පවතින මෙම ක්‍රීඩාංගණය සඳහා වැය කර ඇති ඇස්තමේන්තුගත පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 450කි. ප්‍රේක්ෂකයින් 30,000කට එකවර තරග නැරඹිය හැකි පරිදි සැකසුණු මෙහි ආසන ධාරිතාව අවශ්‍යතාව අනුව 40,000 දක්වා ඉහළ නැංවීමටද සැලසුම් කර තිබේ.
ශිව දෙවියන්ගේ සංකේත සහ වාරණාසි නගරයේ පෞරාණික ශිෂ්ටාචාරය ආභාෂය කරගනිමින් නිමැවුණු ගෘහ නිර්මාණ ශිල්පයක් මෙම ක්‍රීඩාංගණයට එක් කර ඇත. අඩ සඳ හැඩැති වහල ආවරණ, ත්‍රිශූලාකාර විදුලි ආලෝක කුළුණු, වාරණාසි ගංගා ඝාට් පඩිපෙළ රටාවට අනුව සකස් කළ ප්‍රේක්ෂක ආසන සහ ‘ඩමරු’ (Damaru) වාද්‍ය භාණ්ඩයේ හැඩයෙන් නිර්මාණය කළ මාධ්‍ය කුටිය ඊට විශේෂත්වයක් ගෙන දෙයි.
ක්‍රීඩාංගණය තුළ ප්‍රධාන තණතීරු 9ක් සහ පුහුණුවීම් සඳහා වෙන් වූ අතිරේක තණතීරු 5ක් ස්ථාපිත කර ඇත. මිලිමීටර් 100 දක්වා අධික වර්ෂාපතනයකදී වුවද මිනිත්තු 20-25ක් වැනි කෙටි කාලයකින් ක්‍රීඩා පිටිය නැවත තරග සඳහා සූදානම් කළ හැකි නවීන ජලාපවහන පද්ධතියක්ද ඊට ඇතුළත් වේ. ඊට අමතරව වාහන 1,500කට ආසන්න සංඛ්‍යාවකට රථගාල් පහසුකම් සපයා ඇති අතර, ඉදිරියේදී එය තවදුරටත් පුළුල් කිරීමට නියමිතය.
2023 සැප්තැම්බර් 23 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මුල්ගල තබන ලද මෙම ක්‍රීඩාංගණය, කාන්පූර්, ලක්නව්, ග්‍රේටර් නොයිඩා සහ සයිෆායි යන ස්ථානවලට පසුව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට එක් වන 5වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වේ. ආරම්භක අදියරේදී දේශීය තරග පැවැත්වීමට අපේක්ෂිත මෙහි ඉදිරියේදී කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරග පැවැත්වීමටද උත්තර් ප්‍රදේශ් ක්‍රිකට් සංගමය සැලසුම් කර ඇත.


