වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුපට රුපියල් 200 බැගින් එක් කිරීම වෙනුවෙන් අයවැය මඟින් රුපියල් බිලියන පහක මුදලක් වෙන් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පවසයි.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, යටිබේරිය, කළුගල සහ මස්කෙළිය මාර්ගයේ ආපදාවට ලක්වූ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති කටයුතුවලින් සියයට 85ක පමණ භෞතික ප්‍රගතියක් වසර අවසන් වන විට අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

පසුගිය කාලසීමාවේ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදුවූ අලාභය රුපියල් බිලියන 65කට ආසන්න බවට ගණන් බලා තිබේ. ඒ අනුව පළමු අදියරේදී හඳුනාගත් ස්ථාන 108ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර, පිටවල, කළුගල සහ යටිබේරිය ආශ්‍රිත මාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 265ක මුදලක් යොදවා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

මධ්‍යම කඳුකරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මධ්‍යම කඳුකර සංරක්ෂණ අධිකාරී පනතක් ඉදිරිපත් කර විද්‍යාත්මක සැලැස්මක් යටතේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති මෙහෙයවන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු මහේන්ද්‍ර විජේපාල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.