නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 42කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙකි.

අදාළ සැකකරු අද (15) පෙරවරු 09:10 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එම්.එච්.- 497 (MH-497) දරන මැලේසියානු ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත. අනතුරුව ඔහු සිය ගමන් මලු සමග ගුවන්තොටුපොළ “හරිත මාවත” ඔස්සේ පිටව යාමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ සූක්ෂ්ම ලෙස අසුරා තිබූ චීනයේ නිෂ්පාදිත දුම්වැටි කාටූන් 140ක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එම කාටූන් තුළ දුම්වැටි 28,000ක් අඩංගු බවට තහවුරු වී ඇති අතර, ඒවායේ සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 42කට අධික බව රේගුව ප්‍රකාශ කරයි.