රාවණා ඇල්ල අභය භූමියේ පිහිටා ඇති නිල්දිය පොකුණ නැරඹීම තාවකාලිකව තහනම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, යළි නිල වශයෙන් නිල්දිය පොකුණ නැරඹීමේ අවස්ථාව විධිමත් ලෙස ආරම්භ කරන තෙක් ඒ සඳහා ඇතුළුවීම සපුරා තහනම් බව එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
ඇතැම් පුද්ගලයින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව සංචාරකයින් නිල්දිය පොකුණ නැරඹීම සඳහා රැගෙන යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන නිසි බලපත්රයක් නොමැතිව මෙන්ම, දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයෙකුගේ සහභාගීත්වයකින් තොරව කිසිදු සංචාරකයෙකු එම ප්රදේශයට ඇතුළු නොකරන ලෙස දැනුම් දී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රාවණා ඇල්ල අභය භූමියේ පිහිටි නිල්දිය පොකුණ විධිමත් රාජ්ය නියාමන ක්රමවේදයක් යටතේ සංචාරක කටයුතු සඳහා විවෘත කිරීමට අදාළ නව නීති හා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් ද පසුගියදා නිකුත් කර තිබිණි. එම උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව අදාළ නීති හා රෙගුලාසිවලට අනුව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.



