කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව අතුරුදන් වී ඇති බවට පැතිරෙන ප්‍රකාශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

කාරක සභාවේ සභාපතිවරයාද වන අමාත්‍යවරයා පවසන්නේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කිරීම අවසන් කර ඇති බවයි. සියලු ලේඛන සහ සාක්ෂි පාර්ලිමේන්තුව තුළ සුරක්ෂිතව පවතින බවද ඔහු සඳහන් කර ඇත.

විශාල ලේඛන ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට සිදුවීම නිසා වාර්තාව සකස් කිරීමට අපේක්ෂා කළ කාලයට වඩා වැඩි කාලයක් ගතවූ බව අමාත්‍යවරයා පවසයි. වාර්තාව ලියා අවසන් කර ඇති අතර එහි අවසන් සකස් කිරීම් ඉදිරි සතිය අවසානය වනවිට නිම කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබේ.

අනිවාර්ය භෞතික රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳව සොයා බැලීමට මෙම කාරක සභාව පත්කර තිබේ. එහි කාලසීමාව 2026 දෙසැම්බර් 21 දක්වා දීර්ඝ කර ඇත.