ආයෝජන ප්‍රවර්ධනය සඳහා බදු සහන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ආයෝජකයන්ට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ පැවති මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වර්තමානයේ ආයෝජකයකුට ඉඩමක් ලබා ගැනීම සඳහා මාස 18ක පමණ කාලයක් ගතවීම ආයෝජන සඳහා බාධාවක් වී ඇති බව එහිදී අවධානයට ලක් විය. ඒ අනුව රජයේ ඉඩම් හඳුනාගෙන ඒවා ආයෝජන මණ්ඩලය හෝ විශේෂ ඉඩම් බැංකුවක් යටතේ හෝ පවරාගෙන, ආයෝජන ප්‍රමාණය, රැකියා අවස්ථා සහ ජාතික ආර්ථිකයට සිදුවන බලපෑම පදනම් කරගනිමින් කඩිනමින් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.

මේ අතර මුදල් වර්ෂය ආරම්භයේ සිට අමාත්‍යාංශ සහ ආයතන තමන්ට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කර ඒවායේ ප්‍රගතිය මාසිකව සමාලෝචනය කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වසර අවසානයේ භාවිත නොකළ මුදල් ඊළඟ වසරට ගෙන යා හැක්කේ ණයවර ලිපි විවෘත කර ඇති ව්‍යාපෘති වැනි නිශ්චිත කොන්දේසි සපුරා ඇති අවස්ථාවලදී පමණක් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.