අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව පුද්ගලයකුගේ ආදායම හෝ සමාජ තත්ත්වය මත තීරණය නොවිය යුතු බවත්, ගුණාත්මක පිළිකා ප්‍රතිකාර සැමට සමානව ලබා දීම රජයේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 27 වැනිදා පස්වරුවේ කොළඹදී ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ දකුණු ආසියානු පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සම්මේලනය එක්ව සංවිධානය කළ වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරයට එක්වෙමින් ඇය මෙම අදහස් දැක්වූවාය.
සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් සාධාරණ සමාජයක් ගොඩනැඟීම රජයේ දැක්ම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, පුද්ගලයකු ජීවත් වන ස්ථානය හෝ මූල්‍යමය හැකියාව මත ගුණාත්මක පිළිකා ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තීරණය නොවිය යුතු බව අවධාරණය කළාය. පිළිකාව පුද්ගලයන්ට පමණක් නොව පවුල්වලට, ප්‍රජාවන්ට සහ සමස්ත ආර්ථිකයට බලපාන වර්ධනය වෙමින් පවතින මහජන සෞඛ්‍ය අභියෝගයක් බවද ඇය සඳහන් කළාය.
පිළිකා ප්රතිකාරවලින් ඔබ්බට ගොස් රෝගය වැළැක්වීම, කල්තියා හඳුනා ගැනීම, රෝග නිර්ණය, පුනරුත්ථාපනය සහ සහන සත්කාර ඇතුළු සියලු අංශ ආවරණය වන පුළුල් හා ජනතා කේන්ද්‍රීය ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. සිය පවුලේ සාමාජිකයන්ද පිළිකා රෝගයට මුහුණ දී ඇති බව සඳහන් කළ ඇය, සිය මවගේ බාල සහෝදරියක වසර කිහිපයකට පෙර පිළිකාවකින් මිය ගිය බවත්, මවගේ අනෙක් සහෝදරිය රෝගය ජය ගත් බවත් පැවසුවාය. ඒ හේතුවෙන් පවුලේ සාමාජිකයකුට පිළිකාවක් වැළඳුණු විට ඇති වන පීඩනය සහ අසරණභාවය තමන්ට හොඳින් අවබෝධ වන බවද ඇය කියා සිටියාය.
එමෙන්ම, නවීන රෝග විනිශ්චය පහසුකම්, වෛද්‍ය තාක්ෂණය, අත්‍යවශ්‍ය ඖෂධ, විශේෂිත ප්‍රතිකාර සේවා සහ මානව සම්පත් සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ට අඛණ්ඩ අධ්‍යාපනය, විශේෂිත පුහුණුව සහ වෘත්තීය සංවර්ධන අවස්ථා ලබා දීම මෙන්ම දකුණු ආසියානු රටවල් මුහුණ දෙන පොදු අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කමද හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළාය.
