දකුණු කොරියාවේ හ්වාසොං නගරයේ ජංගාන්-මියොන් (Jangan-myeon) ප්‍රදේශයේදී 2026 නොවැම්බර් 26 වැනිදා රාත්‍රී 9ට පමණ සිදු වූ රිය අනතුරකින් මිය ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනාගේ අනන්‍යතාව සියෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2026 නොවැම්බර් 28 වැනිදා නිකුත් කළ නිවේදනයකින් අනාවරණ කර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩකවෙල, රන්වල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙහිපිටිය විදානෙලාගේ අනිල් කුමාර විජේරත්න සහ වලපනේ, හාල්ග්‍රන්ඔය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මහේෂ්වරන් ප්‍රසන්තන් යන දෙදෙනාය.

අනතුර සම්බන්ධයෙන් හ්වාසොං සොබු පොලිස් ස්ථානය 2026 නොවැම්බර් 27 වැනිදා සියෝල්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී තිබේ. මිය ගිය ශ්‍රමිකයන් දෙදෙනාම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය අය බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර පවසයි.

මේ වන විට මිය ගිය දෙදෙනාගේ දේහ මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා සියෝල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය, දකුණු කොරියානු බලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පවුල්වල සාමාජිකයන් සමඟ සම්බන්ධීකරණ කටයුතු ක්‍රියාත්මක වේ.

එම පවුල්වලට අවශ්‍ය සියලු කොන්සියුලර් සහ සුබසාධන සේවා සැලසීමට මෙන්ම දේහ මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගනිමින් සිටින බවද වැඩබලන අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.