අපරාධ මර්දනය කිරීමෙන් පමණක් යහපත් රටක් නිර්මාණය කර ගත නොහැකි බවත්, ජනතාවගේ ආර්ථිකයද ශක්තිමත් කළ යුතු බවට බුද්ධ දේශනාවේ සඳහන්ව තිබීමෙන් බුදු දහමේ ප්‍රායෝගික බව පෙනෙන බව 2026 නොවැම්බර් 28 වැනිදා ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

“කිසියම් රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය තීරණය වන්නේ රටේ පාලනය කරන පාලකයන්ගේ ක්‍රියාකලාපය මත බව. 

පාලකයා ධාර්මික වෙනවා නම්, පාලකයා ප්‍රතිපත්තිගරුක වෙනවා නම් රට සෞභාග්‍යය කරා ගමන් කරනවා. පාලකයා දූෂිත වෙනවා නම්, අධාර්මික වෙනවා නම් මුළු රටම අරාජික වෙනවා. 

මේ කාරණය සකල විධ රාජ්‍යයන්ට අදාළයි. ඒ නිසයි බුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් බවට පත් වෙන්නේ”

රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය තීරණය වන්නේ රට පාලනය කරන පාලකයන්ගේ ක්‍රියාකලාපය මත බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පාලකයා ධාර්මික සහ ප්‍රතිපත්තිගරුක නම් රට සෞභාග්‍යය කරා ගමන් කරන බවත්, පාලකයා දූෂිත හෝ අධාර්මික නම් මුළු රටම අරාජික වන බවත්, එය සියලු රාජ්‍යයන්ට අදාළ ප්‍රායෝගික හා සර්වකාලීන කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

කැලණිය නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මෙම සමාරම්භක උත්සවයේදී 60 වැනි සංවත්සරය නිමිත්තෙන් නාගානන්ද අධ්‍යයන ආයතනයද විවෘත කෙරිණි. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සරය නිල වශයෙන් ආරම්භ විය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනය නියෝජනය කරන රටවල් 50ක නායක ස්වාමීන් වහන්සේ, ගිහි ජනතාව මෙන්ම ත්‍රෛනිකායික මහනාහිමිවරු, අනුනායකහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දෙස් විදෙස් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

1966දී ශ්‍රී ලංකාවෙන් ඇරඹි මෙම සම්මේලනයේ අරමුණ ලෝක සාමය වන අතර, එහි 11 වැනි මහ සභාවේ 02 වැනි විධායක කමිටු සභාවාරය ඇතුළු ආගමික වැඩසටහන් 2026 නොවැම්බර් 29 සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.