2024 වන විට රටේ ජනගහනයෙන් 27% ක් දුප්පත් තත්ත්වයට පත්ව තිබූ බවත්, එම ආර්ථික යථාර්ථය තරුණයන්ගේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කළේය.
පාසලෙන් ඉවත්වන බොහෝ තරුණයන්ට කුසලතා පුහුණු වැඩසටහන්වලට එක්වීමට වඩා පවුලේ ආර්ථික බර දරාගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වී ඇති බවත්,
රජයෙන් ලබාදෙන රුපියල් 5,000ක දීමනාව පමණක් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බැවින්, හොඳ පුහුණු වැඩසටහන් සහ අනුග්‍රාහකයන් සිටියද තරුණයන්ගේ සහභාගිත්වය අඩුවී ඇති බවද ඔහු පැවසීය.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවත්, 9 ශ්‍රේණියේ සිටම සිසුන්ට තම හැකියාව අනුව කුසලතා, වෘත්තීය, ක්‍රීඩා හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළු විවිධ මාර්ග තෝරා ගැනීමේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේම මෙම ප්‍රතිසංස්කරණ හරහා පෙර පරම්පරාවට නොලැබුණු අවස්ථා ඉදිරි පරම්පරාවට ලබාදීම වත්මන් රජයේ අරමුණ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.





