ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ ඩිජිටල් අවකාශයේ ඇති අවදානම්වලින් ආරක්ෂා කිරීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් ඇතුළත් විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, දරුවන්ට ඩිජිටල් තාක්ෂණයෙන් ලැබෙන ප්‍රතිලාභ ආරක්ෂා කරමින් මාර්ගගත හානි අවම කිරීමේ ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කෙරිණි.
සමාජ මාධ්‍ය සඳහා වයස් සීමා පැනවීමේ ජාත්‍යන්තර අත්දැකීම්, එවැනි තහනම්වල සාර්ථකත්වය සහ අතුරු ප්‍රතිඵල ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. දරුවන් ආරක්ෂා කිරීම සඳහා ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම, දෙමාපියන් හා දරුවන් බලගැන්වීම, මාර්ගගත වේදිකාවල වගවීම වැඩි කිරීම සහ “Safety-by-design” ප්‍රවේශය අනුගමනය කිරීම ඇතුළු යෝජනා ඉදිරිපත් කෙරිණි.
එමෙන්ම, සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා මාර්ගගත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම පිළිබඳ පාසල් මට්ටමේ මාර්ගෝපදේශ මාලාවක් ද එළිදැක්වූ අතර, අදාළ අනුමැතියෙන් පසු එය දිවයින පුරා පාසල් වෙත ලබාදීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.





