ගුරු සේවයෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පත්වන නිලධාරීන්ට බලපාන වැටුප් විෂමතා පිළිබඳ නිර්දේශ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අධ්‍යාපනය, මිනිස්බලය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පත් කළ අනුකමිටුව ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට එක්වීම නව පත්වීමක් ලෙස සැලකීම වැටුප් විෂමතාවට ප්‍රධාන හේතුවක් බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ. විශේෂයෙන් ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකු විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට පත්වීමේදී වාර්ෂික වැටුප් වර්ධක අතර කැපී පෙනෙන වෙනසක් ඇති බව ඔවුහු පැවසූහ. පත්වීමේදී වැටුප් වෙනස පියවීමට දීමනාවක් ලබා දුන්නද, ගුරු සේවයේ රැඳී සිටියේ නම් හිමිවන ඉහළ වැටුප් වර්ධක නොලැබීමෙන් කාලයත් සමඟ යළි වැටුප් පරතරයක් ඇති වන බව සමිති පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය නිසා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති සේවා විභාගයට පෙනී සිටීමට මැළිකමක් දක්වන බව ද සමිති පැවසීය. විදුහල්පති සේවයේ නිලධාරීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන හා මුදල් අමාත්‍යාංශ සමඟත්, ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟත් වැඩිදුර සාකච්ඡා කිරීමට අනුකමිටුව තීරණය කර තිබේ.