කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර වසා දමා තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. අද (17) අලුයම 3.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, පැයක පමණ කාලයක් පුරා එය පැතිර ගොස් ඇත.
ගින්න පාලනය කිරීම සඳහා රත්නපුර නාගරික ගිනි නිවීමේ ඒකකයේ සහය ලබාගෙන ඇති අතර, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකි වී ඇති බව පොලිසිය පවසයි. ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ.
ගිනිගත් ගොඩනැගිල්ල මීට පෙර නේවාසික රෝගීන්ගේ වාට්ටුවක් ලෙස භාවිත කර ඇති අතර, නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමත් සමඟ එය වෙනත් ස්ථානයකට මාරු කර තිබුණි. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කෙරෙන අතර, ආරක්ෂක පියවරක් ලෙස අලුයම 4.00ට පමණ ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණි.

