කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සංශෝධනය කිරීමට හෝ ඒ වෙනුවට අලුත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහසක් නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. යෝජනාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීමට විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම නොවැම්බර් 11 වැනිදා රැස්වීමට නියමිතව තිබූ බවද ඔහු මීට පෙර සඳහන් කළේය.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මීට පෙර ප්‍රකාශ කළේ යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලව සංශෝධනය කර යළි ඉදිරිපත් කළ යුතු බවයි. නොවැම්බර් 3 වැනිදා යෝජනාව විවාදයට ගැනීමට තිබූ අවස්ථාව ඒ අනුව වෙනස් කෙරිණි.
විවාදය නොපැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න පහකින් වරප්‍රසාද කඩවීමක් මූලික වශයෙන් තහවුරු නොවන බව නියෝජ්‍ය කථානායකවරයා නොවැම්බර් 6 වැනිදා සභාවට දැනුම් දුන්නේය.
