ශ්‍රී ලංකාවේ ජනතාව ජාති, ආගම, පක්ෂ මත බෙදී නොවී එකමුතුවෙන් තීරණ ගත් නිසා වත්මන් ආණ්ඩුවට ජනවරමෙන් විශාල සහය ලැබූ බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති ආගමික සහජීවනය සහ සංහිඳියා සම්මන්ත්‍රණයේ අවසන් උත්සවයේදී අමාත්‍යවරයා කියාසිටියේ, ජනතාව සිදුකළ පරිවර්තනීය වෙනස මගින් “උතුර පිළිගන්නා දකුණක් සහ දකුණ පිළිගන්නා උතුරක්” යන සමානාත්මතාවය ඇති රටක් නිර්මාණය වී ඇති බවයි.
ඉදිරියට යාම සඳහා ආණ්ඩුව වසර පහක සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර, එය ආර්ථික, දේශපාලන සහ සමාජයීය තත්ත්වයන් ගොඩනගා ගැනීමේ අරමුණින් යුක්ත බවත්, ජාතිවාදය හෝ ආගම්වාදය මත පදනම් වූ පක්ෂවලට ඉදිරියට යාමට ඉඩ නොදෙන බවත් ඔහු අවධාරණය කළේය.





