ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර දින 12 ක් පමණ පැවති යුදමය තත්ත්වය අවසන් කරමින් මේ වන විට සටන් විරාමයක් ප්‍රකාශයට පත්වී තිබෙනවා.

දෙරට අතර සටන් විරාමය ආරම්භ වී ගෙවන පළමු දිනය තුළ ඉතාමත් නිහඬ තත්ත්වයක් පැවති අතර, ඊශ්‍රායලයේ සහ ඉරානයේ වැසියන්ට සයිරන් හෝ පිපිරීම් හඬවල් ඇසී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් පවතින බව මේ වන විට දෙරටින්ම පිළිගෙන ඇති අතර, එය ක්‍රියාත්මක වන බවට දෙපාර්ශවයම ප්‍රකාශ කර තිබෙනවා.

සටන් විරාමය ආරම්භ කිරීමත් සමඟම සටන් විරාමය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් දෙපාර්ශවයටම චෝදනා එල්ල කරගත් අතර, පසුව මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද විවේචනාත්මකව අදහස් දක්වා තිබුණා.

ඉරානයේ න්‍යෂ්ටික හැකියාව මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව අවධාරනය කර තිබෙනවා.

කෙසේ වෙතත් නවතම බුද්ධි අංශ වාර්තාවකින් පවසා සිටින්නේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් එහි න්‍යෂ්ටික වැඩසටහනේ මූලික අංග විනාශ වී නොමැති බවයි‍. 

හැකි ඉක්මනින් සියල්ල සන්සුන් වනු දැකීම තම කැමැත්ත බවත්, පාලන තන්ත්‍ර වෙනසක් සිදු කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

සටන් විරාමයෙන් පසු ජෙරුසලමේ තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමට එක්සත් ජනපදය කටයුතු කරමින් සිටිනවා.

මේ අතර, ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයින් තිදෙනෙකු ඉරානය විසින් එල්ලා මරා දැමීමට කටයුතු කර තිබෙන බවයි සඳහන් වන්නේ.