අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා නිරීක්ෂණය සහ අලි සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීම කෙරෙහි පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ එම කාරක සභාවේදී මෑතකදී සිදුවූ කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ද විශේෂයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.
අලින්ගේ ස්වභාවික වාසස්ථාන අහිමිවීම, සාම්ප්‍රදායික අලිමංකඩ අවහිර වීම සහ ජනාවාස මෙන්ම වගාබිම් ආශ්‍රිතව ආහාර සොයා සතුන් පැමිණීම අලි-මිනිස් ගැටුම උග්‍ර වීමට ප්‍රධාන හේතු ලෙස මෙහිදී හඳුනාගෙන තිබේ. ඊට විසඳුමක් ලෙස අලින් ගැවසෙන මාර්ග හා සංක්‍රමණ රටා හඳුනාගැනීම සඳහා ජී.පී.එස්. (GPS) සහ චන්ද්‍රිකා තාක්ෂණය සහිත කොලර් උපකරණ (Satellite Collar) සවි කිරීමේ වැදගත්කම කාරක සභාව පෙන්වා දුන්නේය.
ගැටුම් පාලනය කිරීම වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් වනජීවී නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළත් ඒකාබද්ධ කමිටු පිහිටුවීමත්, පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද ස්ථාපිත කිරීමත් පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.
මීට අමතරව රෝගී හා තුවාල ලබන වනඅලින්ට ප්‍රතිකාර කිරීමේදී වනජීවී පශු වෛද්‍යවරුන් මුහුණ දෙන දුෂ්කරතා සහ නිර්වින්දනයේදී පවතින අවදානම් පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ. ඒ අනුව ක්ෂේත්රයේ ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීම සඳහා ජංගම වෛද්‍ය පහසුකම් මෙන්ම ජංගම එක්ස්-රේ (X-ray) යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ සපයා දීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.





