අමෙරිකාවේ මධ්‍යම බටහිර සහ ඊසානදිග ප්‍රදේශවලට බලපා ඇති ප්‍රබල කුණාටු තත්ත්වයක් හේතුවෙන් නොවැම්බර් 26 වැනිදා සවස් වන විට නිවාස 980,000කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ස්තුති ප්‍රකාශ කිරීමේ දිනය (Thanksgiving Day) වෙනුවෙන් මිලියන 80කට අධික පිරිසක් මෙම සතියේ සංචාරය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන පසුබිමක අධික වර්ෂාව, ප්‍රබල සුළං සහ වෙරළබඩ ගංවතුර හේතුවෙන් ප්‍රවාහන සහ විදුලි සේවාවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
පෙන්සිල්වේනියා, වර්ජිනියා, මේරිලන්ඩ් සහ නිව්ජර්සි ප්‍රාන්තවලට විදුලිය විසන්ධි වීමෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගත විය හැකි බව බලධාරීහු සඳහන් කරති. විදුලි සැපයුමට වරින්වර බාධා එල්ල වීම හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙස මේරිලන්ඩ් ප්‍රාර්ථනයේ පාරිභෝගිකයන් මිලියන දෙකකට ආසන්න පිරිසකට දැනුම් දී ඇත.
නොවැම්බර් 26 වැනිදා පමණක් අමෙරිකාවේ ගුවන් ගමන් 400කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර, තවත් ගුවන් ගමන් 2,200ක් ප්‍රමාද වී ඇති බව FlightAware වෙබ් අඩවිය පැවසීය. වොෂින්ටන් අගනුවර ස්තුති ප්‍රකාශ කිරීමේ දිනයක වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මෙවර සටහන් වී ඇති අතර, මුහුදු ජල මට්ටම ඉහළ යෑමෙන් රේගන් ජාතික ගුවන්තොටුපොළේ ධාවන පථවලටද ජලය ගලා විත් තිබේ.
පැයට කිලෝමීටර් 113ක පමණ වේගයෙන් හමා ගිය සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් නැගෙනහිර අමෙරිකාවේ වෙරළබඩ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇත. ඒ අනුව නිව්ජර්සි ප්‍රාන්තයට මෙන්ම නිව්යෝර්ක් නගරය, ලෝන්ග් අයිලන්ඩ් සහ වෙස්ට්චෙස්ටර් ප්‍රදේශ සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, නිව්යෝර්ක්හි Macy’s ස්තුති ප්‍රකාශ කිරීමේ දින පෙළපාළිය නොවැම්බර් 28 වැනිදා දක්වා කල් දැමීමට සංවිධායකයෝ පියවර ගෙන ඇත.
බලපෑමට ලක් වූ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ සඳහා හදිසි ආධාර අරමුදල් ලබා දීම සම්බන්ධයෙන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. මේ අතර පැසිෆික් සාගරයේ කුණාටු මාලාවකින් අමෙරිකාවේ බටහිර වෙරළබඩටද බලපෑම් එල්ල විය හැකි බවට ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා ඇති අතර, කැලිෆෝනියා වෙරළබඩ ඇතැම් තැන්වල මුහුදු ජල මට්ටම අඩි 8ක් හෙවත් මීටර් 2.4ක් ඉක්මවිය හැකි බැවින් වෙරළබඩට නොයන ලෙස උපදෙස් දී කැලිෆෝනියා වෙරළ තීරයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබේ.

