පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිවූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ අයථා වත්කම් පිළිබඳව රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා අද (04) චෝදනා කර සිටියේ ය.

අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඉකුත් දින හෙළිදරව් වූ පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව අදහස් පළකරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම හෙළිදරව්ව පිළිබඳ විවිධ රාජ්‍ය නායකයින් තම ප්‍රතිපත්ති ප්‍රකාශයන් නිකුත් කරන මොහොතක මෙරට ජනාධිපති, අගමැති ප්‍රමුඛ රජය කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නොමැති බවයි.

” විශේෂයෙන්ම අපේ රටේ වංචා දූෂණ පිළිබඳව අපි බොහෝ කරුණු ඉදිරිපත් කරනවා. හැබැයි ඒවා එසේම යටයන්න ඉඩ දී දේශපාලකයන් බලාගෙන ඉන්නවා නීතිය හමුවට ගෙන එන්නේ නැහැ. හැබැයි දැං සුලබ සිද්ධියක් බවට පත්වෙලා තියෙනවා ලෝකයේ කොහේ හරි කලු ධනය, අයුතු ව්‍යාපාර, කොමිස් ගන්න වැඩ සිද්ධවුණු වාර්තාවක් එළියට එනවා නම් ඒ වාර්තාවේ ශ්‍රී ලංකාවේ දේශපාලකයො හෝ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ නම් තියෙනවා. ඒක තමයි පැන්ඩෝරා පේපර්ස් හරහා අද එළියට ඇවිත් තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ සහ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ ඥාති සොහොයුරියක් විශාල ධනස්කන්ධයක් හෙළිදරව් නොකොට දේපළ සහ බැංකු තුළ සඟවාගෙන තිබෙන බව තමයි හෙළිදරව් වෙලා තියෙන්නේ. පකිස්ථානයේ ඉම්රාන් ඛාන් අග්‍රමාත්‍යවරයාගේ ආර්ථික උපදේශකයෙකුගේ පුතෙක් ඇතුලූ කිහිප දෙනෙක් පිළිබඳවද චෝදනා එල්ල වී තිබෙනවා. ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කර වහාම නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කරන තිබෙනවා. මේ හෙළිදරව්ව ගැන ඔබ දැන් මගෙන් තොරතුරු අහනවා. නමුත් මේ සම්බන්ධයෙන් ඉක්මනින් ප්‍රකාශයක් කළ යුතුව තිබෙන්නේ රටේ ජනාධිපතිවරයා. නමුත් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ මුදල් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් කියන්නේ නැහැ. ” ඔහු කියා සිටියේ ය.

එමෙන්ම පැන්ඩෝරා පත්‍රිකා හරහා සහ මින් පෙර පැනමා පත්‍රිකා වැනි ලිපිගොනු හරහා හෙළිදරව් වූ කරුණු පිළිබඳව සංකීර්ණ පැහැදිලිකිරීමක් ද සිදුකරමින් ඔහු අවධාරණය කර සිටියේ මෙරට ඉතාම දූෂිත රාජ්‍යයක් බවයි.

” බැසිල් රාජපක්ෂට අයත් යැයි කියන නඩුවක් පවතින මල්වානේ නිවස පිහිටි ඉඩමේ ඔප්පුව තිබෙන්නේ තිරු නඩේෂන්ගේ නමට. 2015 ජනවාරි 08 රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිවසට බලය හුවමාරු කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන්න රනිල් වික්‍රමසිංහ ගියේ තිරු නඩේෂන් එක්ක. තිරු නඩේෂන් හෝ නිරුපමා රාජපක්ෂ මේ බලයේ ඉන්න චෞර වළල්ලෙන් පිට අය නෙවෙයි. ඒ වළල්ලේ ඇතුළේ ඉන්න අයගේම ධනය මේ හෙළිවී තිබෙනවාදැයි සැකයක් තිබෙනවා. එපමණක් නෙවෙයි. ඉමාම් සුබේරි කියන CIA නියෝජිතයා අවුරුදු 12කට සිර දඬුවම් විඳනවා. මේ CIA නියෝජිතයාට එවකට මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් ඩොලර් මිලියන 6.5ක් ගෙවා තිබෙනවා. ඒ ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන්න කියලා. ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අවසරයක්වත් නැති බව වාර්තා වෙනවා. එක්සත් ජනපදයේ CIA නියෝජිතයින්ගේ වත්කම් පරීක්ෂා කරනකොට ලංකාවේ කබ්රාල් ලා ගැන හෙළිවෙනවා. ප්‍රංශයේ එයාර් බස් සමාගම සම්බන්ධයෙන් එරට සහ එංගලන්තය, ඇමරිකන් එක්සත් ජනපදය පරීක්ෂණයක් පැවැත්වූවා. මේ සමාගම ලෝකයේ රටවල්වලට ඒයාර් බස් ලබාදීමේදී විවිධ කප්පම් ලබාදීම හරහා පෙළඹවීම් කර ඇති බව පරීක්ෂණයකින් ඔප්පු වුණා. එහිදී එවකට එයාර් ලංකා ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට බෲනායිවල පිහිටි සමාගමක් හරහා ඩොලර් මිලියන 2ක් ලබාදී ඇති බව හෙළිවුණා. මේ මුදල ඕස්ටේලියාවේ ගිණුමක් හරහා ලංකාවේ නිමල් පෙරේරාගේ ගිණුමකට පැමිණි බව හෙළිවුණා. මේ විදිහට ලෝකයේ මූල්‍ය අපරාධ පිළිබඳ කරන පරීක්ෂණවලදී ලංකාව පිළිබඳවත් හෙළිදරව් වෙනවා. පැනමා පත්‍රිකාවලින් පවා මේ ගැන වාර්තා වුණා. එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහත්මයා ඉලක්ක කරගෙන ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් චීන සමාගමක් විසින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ලබාදුන් බව හෙළිකර තිබෙනවා. මේ පුවත්පතට විරුද්ධව නඩු දාන බව මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා. නමුත් නඩු දැම්මේ නැහැ. මේක දූෂිත රාජ්‍යයක් නොවෙයිද ? ” ඔහු අවධාරණය කළේ ය.

එලෙසින් විවිධ දූෂණ ක්‍රියා සඳහා ජාත්‍යන්තරව පවා අපකීර්තියට පත්ව සිටින රාජපක්ෂවරුන් මෙරට සාරය සූරාකමින් මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් සේ මෙරට විනාශ කරන බවත් ඔහු අවධාරණය කළේ ය.

” මේ අපේ රටේ ජනතාවගේ ක්ෂාරය සූරාගත් චෞර වළල්ලක්. දේශප්‍රේමී සළුපිළිපොරවාගෙන සිටින මේ රාජපක්ෂ චෞර වළල්ල මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් නැවක් අත්පත් කරගෙන සිටිනවා වගේ අපේ රට අත්පත් කරගෙන සිටිනවා. අපි කියන දේ අහන්න සූදානම් නැති කවුරුන් හෝ ඉන්නවා නම් ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් වන මේ තොරතුරු ගැනවත් අවධානය යොමු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ” ඔහු කීවේ ය.