මේ වනවිට ලෝකය පුරා දැඩි කතා බහට ලක්ව ඇති Pandora Papers පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මාධ්‍යවේදීහු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටියහ.

බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, යම්කිසි දේශපාලනඥයෙකුගේ නම් තිබේ නම්,ඔවුන්ගේ දේපළ පිළිබඳව, උපයාගත් ආකාරය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම අනිවර්යයෙන් සොයා බැලිය යුතු බවයි.

තමන් දන්නා තරමින් ව්‍යාපාරික පවුලකට සම්බන්ධ විශ්‍රාමික දේශපාලනඥයෙකුගේ නමක් ඇති බව පැවසුන ද ඒ හැරුණු කොට එම ලේඛනවල වෙනත් දේශපාලනඥයෙකුගේ නම් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.

”මට ආරංචි විදිහට විශ්‍රාමික දේශපාලනඥයෙකුගේ තමයි නම තියෙනවා කියන්නේ, ව්‍යාපාරික පවුලකට සම්බන්ධ ඒ ඇරුණුකොට මා දන්නා තරමින් වෙනත් දේශපාලනඥයෙකුගේ නම් නෑ.. නම් ගැන කතා කිරීම නොවෙයි වැදගත් වෙන්නේ, මේ අය සම්බන්ධයෙන් අයුතු ලෙස දේපළ ඉපයීමක් සිදු කර ඇත්දැයි වහාම අල්ලස් හෝ දූෂණ කොමිසම සොයා බැලීමක් කළ යුතුයි”