ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර පහකට ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට හිමිවීම ගැටළුකාරී බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඒ, ඊයේ (29) දින කොළඹදී මාධ්‍ය අමතමින්.

ගිවිසුම් වලට එළැඹීම සම්බන්ධ කිසිඳු කමිටුවක බලශක්ති අමාත්‍යංශයේ නියෝජිතයෙකු නොසිටි බවත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ දෙකක් මේ වන විටත් ලබා දී ඇති බවත් තවත් නිරීක්ෂණයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මම හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න මගේ හෘදසාක්ෂියට එකඟ නැති කිසිදෙයක් කරන්නෙ නෑ. ඒක නිසා මම කවදාවත් හැංගිලා නෑ. කෙතරම් දේශපාලනිකව පාඩු වුණත් මං ඒ දේ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉන්දියාවෙ කියමනක් තියෙනවා ‘දේශපාලකයා ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙන තීන්දු ගන්නා අතර රාජ්‍යතාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ගැන සිතා තීන්දු ගනී’ කියලා. මම කැමතියි ඡන්ද පැරදුණත් දේශපාලකයෙක් වෙනවා වෙනුවට රාජ්‍යතාන්ත්‍රිකයෙක් වෙන්න.

මම ලස්සන කතාවක් කියන්නම්. ආණ්ඩුව ඇතුළෙ අපි හැසිරෙන්නෙ ගෙදර ඉන්න බල්ලා වගේ. ගෙදරට අනතුරක් වෙන්න යනකොට තමයි බල්ලා බුරන්නෙ. එතකොට බල්ලා බුරද්දී බුරන දිසාව බලලා අනතුර හඳුනාගන්නවා වෙනුවට බල්ලාව පන්නලා දැම්මොත් ගෙදර කට්ටියගෙ අවසානෙ තමා සිද්ධ වෙන්නෙ. ඒ නිසා මම හිතන්නෙ අපි රටට ආදරේ නිසා, ආණ්ඩුවට ආදරේ නිසා ආණ්ඩුවෙන් වරදක් වෙන්න යනකොට අපි හඬනගනවා”