පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඖෂධන නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, ඇස්ට්‍රසෙනෙකා එන්නත සම්බන්ධයෙන් ඔහු සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල යොමු කර ඇති බවයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වා යම් බාල කිරීමක් කර ජනතාවට එන්නත්කරණයට ලබා දෙන බවට එමගින් ඔහු පවසා ඇතැයි, පැමිණිල්ලෙ සඳහන්ව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දපාර්තමේන්තුව විමර්ශනය කිරීමෙන් අනතුරුව පිළියන්දල, පැලැන්වත්තේදී අසේල සම්පත් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් ද සහභාගී වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් අසේල සම්පත් අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.