අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි, අන්‍යාගමික පූජකතුමණි, ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියණි, මිත්‍රවරුණි, ආදරණීය දූ දරුවණි.

අපේ රටට පමණක් නොව දියුණු, නොදියුණු සෑම රටකටම මේ අවස්ථාවේ තිබෙන බරපතලම ප්‍රශ්නය කොවිඩ් 19 ගෝලීය වසංගතයයි. ලෝකය පුරා මිලියන 180 කට මේ රෝගය වැලඳී තිබෙනවා. මිලියන 3.9 කට ආසන්න ජනගහනයක් මේ වන විට ඉන් මියගොස් තිබෙනවා.

මුල් කාලයේ බරපතල ලෙස කොරෝනා වලින් පීඩා විඳි, දියුණු රටවල්, මේ වන විට අවදානම බොහෝ දුරට පාලනය කොට තිබෙන්නේ ජනතාවගෙන් බහුතරයක් එන්නත්කරණය කල නිසයි. එන්නත නිපදවන සමහර රටවලට පහසුවෙන් එන්නත ලබා ගැනීමේ හැකියාව තිබුනත්, මේ වන තුරු කිසිදු එන්නතක් තම ජනතාවට දීමට බැරි වූ රටවලුත් තිබෙනවා.

ලංකාවට එන්නත ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ මම විශේෂ උනන්දුවක් ගත්තා. චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකව කතා කලා. ඒ වගේම ලිපි මඟින් ඉල්ලීම් කලා. රුසියාව හා අනිකුත් රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකවම ලිපි යැව්වා. අපේ විදේශ අමාත්‍යාංශය හරහා විදේශ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හරහාත් එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමඟ සාකච්ඡා කලා. අපේ නිලධාරීන් එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමඟ සම්බන්ධීකරණය කලා. මේ සියලු උත්සාහයන් දැරුවේ, මට අපේ රටේ සියලූම ජනතාව එන්නත්කරණය කිරීමට අවශ්‍ය වූ නිසයි.

මේ උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සෑම මසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයෙන් රටට ලැබෙමින් පවතිනවා. අපි භාවිතා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් පමණයි. මේ වනවිට ඇස්ට්‍රාසෙනිකා එන්නත් දොලොස් ලක්ෂ හැට හතර දාහක්, සයිනොෆාම් එන්නත් තිස් එක් ලක්ෂයක්, ස්පුට්නික් එන්නත් එක් ලක්ෂ තිස් දාහක්, වශයෙන් මුලු එන්නත් මාත්‍රා හතලිස් හතර ලක්ෂ අනූ හතර දාහක් අපිට ලැබී තිබෙනවා. දැනට රටේ සෑම පළාතකම එන්නත්කරණය සාර්ථකව සිදුවෙමින් පවතිනවා.

සමස්ත ජනගහණයෙන් මිලියන 03කට දැනටමත් එන්නත් ලබාදී අවසන්. ජුලි මස සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 කුත්, සයිනොවැක් මාත්‍රා මිලියන 2.5 කුත් ලැබීමට නියමිතයි. එසේම ස්පුට්නික් මාත්‍රා මිලියන 2 ක්ද ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. මීට අමතරව, අගෝස්තු මස සයිනොෆාම් මාත්‍රා මිලියන 5 කුත්, සයිනොවැක් මාත්‍රා මිලියන 2.5 කුත්, ස්පුට්නික් මාත්‍රා මිලියන 2 කුත් ලැබීමට නියමිතයි. සැප්තැම්බර් මස සයිනොෆාම් මිලියන 3 ක් ලබා ගැනීමෙන් මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට අපට මිලියන 13 ක ජනතාවක් එන්නත්කරණය කරන්නට පුළුවන්. ඒ අනුව, වයස අවුරුදු 30 ට වැඩි සියලුදෙනාම වාගේ අපට මේ කාලය තුල එන්නත්කරණය කරන්න පුළුවන්. මෙය ඉතාමත් සතුටුදායක තත්වයක්.

ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් මාසයේ ජනතාව මාව පත් කරගත්තේ රටේ අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තු තබාගෙනයි. මොන තරම් බරපතල ප්‍රශ්න මැද්දේ වුනත් ඒ බලාපොරොත්තු ඉටුකරන්න මම බැඳී සිටිනවා.

කිසිදිනක අවසන් කල නොහැකි යැයි කී එල් ටී ටී ඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ වගකීම අපි එදා බාරගත්තා වගේම රට මුහුණ දී තිබෙන ගැටලු වලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍යය උදා කිරීමේ අරමුණ වෙනුවෙන් මම කැපවෙනවා.

මම හැම විටම ක්‍රියාකරන්නේ සැලසුමකට අනුවයි. අනාගතය සැලසුම් කරන විට අපි අතීතය අමතක නොකල යුතු අතර වර්තමානය හොඳින් විමසා වටහා ගත යුතුයි.

2019 ජනාධිපතිවරණයේ දී මට ඡන්දය දුන් 69 ලක්ෂයකට අධික ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම වූයේ ජාතික ආරක්ෂාව තහවුරු කොට රට ස්ථාවර කිරීමයි. එදා මේ රටේ ජනතාව ආගමික ව්‍යාප්තවාදය ගැන දැඩි බියකින් සිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ අපේ රටේ ආරක්ෂක යාන්ත්‍රණය බොහෝ සෙයින් දුර්වල වී ඇති බව ජනතාවට වැටහී තිබුනා.

පසුගිය රජය විසින් ගත් වැරදි තීන්දු රාශියක් නිසා අපේ බුද්ධි අංශ දුර්වල වුනා. අපේ ආරක්ෂක අංශ ජාත්‍යන්තරය හමුවේ අභියෝගයට හා අපකීර්තියට ලක් වුනා. අපේ සිද්ධස්ථාන බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබූවා. පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන ප්‍රසිද්ධියේ විනාශ කරන තත්ත්වයක් ඇති වුනා. 2009 දී අපි අවසන් කල ත්‍රස්තවාදය වඩාත් භයානක මුහුණුවරකින් යලි මතු වී තිබුනා.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි මේ වන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. වගකිවයුතු තනතුරුවලට සුදුසුම නිලධාරීන් පත් කරනු ලැබූවා. විවිධ හිරිහැර නිසා කඩා වැටී තිබුන ආරක්ෂක අංශ වල මානසිකත්වය අපි යලි ශක්තිමත් කොට තිබෙනවා. එදා දුර්වලව තිබූ බුද්ධි අංශ යලි ප්‍රතිසංවිධානය කොට තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ අමතක කොට තිබූ ආරක්‍ෂක සැලැස්මවල් අපි යලි ක්‍රියාත්මක කොට තිබෙනවා.

රටට විශාල උවදුරක් බවට පත් වෙමින් තිබූ පාතාලය අපි සාර්ථකව පාලනය කලා. එක්වරම විසඳන්නට අපහසු වුනත් මත්ද්‍රව්‍ය උවදුරත් බොහෝ දුරට පාලනය කරමින් තිබෙනවා. මේ උවදුර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා.

අපේ කම, අපේ සංස්කෘතිය, ජාතිකත්වය ගැන කතා කිරීම අපහාසයට උපහාසයට ලක් වීමට හේතුවක් වූ යුග‍යක් අපි පසු කලා. අපි ඒ තත්ත්වය වෙනස් කලා. සෑම ජාතිකයෙකුටම, සෑම ආගමිකයෙකුටම, තම අනන්‍යතාවය රැකගෙන අනෙකෙකුට හිරිහැරයක් නොවී අභිමානයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් මේ ටික කාලයක් තුලදී අපි ගොඩ නැඟුවා.

පසු ගිය කාලයේ තර්ජනයට ලක්වී තිබූ මුහුදු විහාරය, කූරගල, දීඝවාපිය වැනි සංස්කෘතික හා ආගමික උරුමයන් අපි ආරක්ෂා කොට තිබෙනවා.

අද මේ රටේ ජනතාවට තවදුරටත් රටේ ඒකීය භාවය ගැන බියවීමට හේතුවක් නැහැ. අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්නට මේ රජය කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව මගේ රජය තහවුරු කොට තිබෙනවා.

අපේ තවත් ප්‍රධානතම අභියෝගයක් වුනේ බිඳ වැටී තිබුන ආර්ථිකය යලි ගොඩනැංවීමයි. ඒ සඳහා අපි ඉතා හොඳ සැලැස්මක් ඉදිරිපත් කලා. පසුගිය වසර 1 1/2 ක වැනි කාලය තුල, අප මුහුණ දුන් මූලික අභියෝගත්, ඒවාට අප මුහුණ දුන් ආකාරයත් ගැන ජනතාව දැනුවත් විය යුතුයි.

2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා නව ආණ්ඩුවකට රට භාරදෙන විට අපිට ශක්තිමත් ආර්ථිකයක් තිබුනා. 7% ට ආසන්න ආර්ථික වර්ධන වේගය ආසියාව තුළ දෙවැනි වුනේ චීනයට විතරයි. විදේශ ආයෝජන ගලා එමින් තිබුනා, රුපියල ස්ථාවරව තිබුනා, විදේශ සංචිත ශක්තිමත්ව තිබුනා, ණය බර ලිහිල් වෙමින් තිබුනා, මුළු රටම වැඩබිමක් වී සීඝ්‍ර සංවර්ධනයක් සිදු වෙමින් තිබුනා.

පසුගිය රජය බලයේ සිටි 2015 – 2019 කාලයේ මේ රටට කිසිම ස්වාභාවික විපතක් තිබුනෙ නෑ. ඒ කාලයේ කොරෝනා වගේ ගෝලීය අර්බුදයක් තිබුනෙත් නෑ. නමුත් හුදෙක්ම රාජ්‍ය පාලනයේ අසාර්ථකත්වය නිසා සාධාරණ හේතුවකින් තොරව අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා. 2019 වන විට රටේ ආර්ථික වර්ධන වේගය සියයට 2.1% කට අඩුවී තිබුනා. රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,400 සිට රුපියල් බිලියන 13,000 දක්වා වැඩිවෙලා තිබුනා. ජනතාව මත බදු බර දෙගුණ වෙලා තිබුණා. රුපියල අස්ථාවර වෙලා, භාණ්ඩවල මිල අසීමිත ලෙස වැඩිවෙලා තිබුණා. අපනයන ආදායම අඩු වී විදේශ සංචිත දුර්වල වෙලා තිබුණා.

මම බාරගත්තේ මේ ආකාරයට බිඳ වැටී තිබූ ආර්ථිකයක්. නමුත් අපි ඒ යථාර්තය හොඳින් තේරුම් අරගෙන සැලැස්මක් සහිතව තමයි ඒ වගකීම බාරගත්තේ.

නමුත් අනපේක්ෂිත ලෙස අපේ රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටම අර්බූදයක් වූ ගෝලීය කොරෝනා වසංගතය නිසා ඒ සැලසුම් අප බලාපොරොත්තු වූ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරන්නට බැරි වාතාවරණයක් ඇති වුනා.

මා ජනාධිපතිවරයා වශයෙන් පත් වී මාසයක් ගතවන්නටත් පෙර කොවිඩ් 19 වසංගතය චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන්නට පටන් ගත්තා. මේ වෙලාවේ මේ රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් දෙන්නට අවශ්‍ය දැනුම කිසිදු රටකට තිබුනේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විමතියට පත් වී සිටියා.

වසංගතයක අවධානය ගැන දැනගත් වහාම ඉදිරියට එන ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න අපි වෛද්‍යවරුන්, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිලිබඳ විශේෂඥයන්, දක්ෂ පරිපාලකයන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුලත් වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා

චීනයේ වසංගතය ආරම්භ වූ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබමින් සිටි විදේශීය සිසුන් ඉතා අසරණ වූ අතර, අපේ රටේ සිසුන් 34 දෙනෙකුත් ඒ අතර සිටියා. නමුත් අන් සෑම රටකටම කලින් ක්‍රියාත්මක වූ අපි දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වේද යටතේ ගුවන් යානයක් චීනයට යවා වුහාන්වල සිරවී සිටි ශ්‍රී ලංකික සිසුන් 34 දෙනාවම ආරක්ෂාකාරීව ලංකාවට ගෙන ආවා.

ඔවුන් දියතලාවේ හමුදා කඳවුරක නිරෝධායනය කොට, තම පවුල් වලට මුදාහැරීමෙන් අන් රටවලටත්, රජයක සමාජ වගකීම ගැන අපි හොඳ ආදර්ශයක් දුන්නා.

ලංකාවේ පලමු කොරෝනා පොකුර නිර්මාණය වූ අවස්ථාවේ නිසි වේලාවට රට වසා දමා, විවිධ සීමා පනවා, සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන ගැන ජනතාව දැනුවත් කලා. රෝගය වැලඳුන සියලු දෙනාටම රජය මැදිහත් වී ප්‍රතිකාර කලා. රෝගය වැලඳුන කාලයේ ඔවුන් හා ඇසුරු කල සියලුදෙනා බුද්ධි අංශවල සහායෙන් සොයාගෙන, ඔවුන්ව නිරෝධායනය කලා.

මේ අනුව පළමුවන කොරෝනා රැල්ල සාර්ථකව පාලනය කරන්නට අපි සමත් වුනා. ලෝක‍යේ අන් රටවල් කොරෝනා වසංගතයෙන් දැඩි පීඩා විඳිද්දී මාස 3 ක පමණ කාලයක් ලංකාවෙන් කිසිදු රෝගියෙකු වාර්තා වුනේ නැහැ.

කිසිදු රටකට දීර්ඝ කාලීනව ගුවන්තොටුපොලවල් හා වරායවල් වසා ගෙන ඉන්නට බැහැ. පිටරට වල අසරණව සිටින තම පුරවැසියන් ආපසු ගෙන ආ යුතු වනවා. ආනයන, අපනයන කටයුතු පාලනයක් යටතේ හෝ සිදු කිරීමට වෙනවා. මේ නොවැලැක්විය හැකි ගෝලීය සම්බන්ධීකරණය නිසා කොරෝනා වයිරසය යලි යලිත් රටවලට ඇතුලු වීමත් සම්පූර්ණයෙන් වලක්වන්නට කිසිම රටකට මෙතෙක් හැකිවෙලා නැහැ. රට වසා දැමීමකින් කල හැක්කේ තාවකාලිකව අවදානම පාලනය කිරීම පමණයි.

කොරෝන දෙවන රැල්ල ආ අවස්ථාවේ අළුත් වයිරස් ප්‍රභේදයක් වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා. විශේෂයෙන් කර්මාන්ත ශාලා, මාළු හා එලවළු වෙළඳපොලවල් ආශ්‍රිතව මෙය පැතිරුනා.

කොරෝනා සාර්ථකව පාලනය කිරීමට නම් රජය විසින් පැනවූ දැඩි සමාජ දුරස්ථතා නීති වලට ජනතාව වගකීමෙන් සහාය දිය යුතුයි. නමුත් ලංකාව තුල සංචරණය සීමා කරන්නට, සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නට කියා කොතරම් උපදෙස් දුන්නත්, සමහර ජන කොටස් එයට සම්පූර්ණ සහාය නොදුන්න බව ඔබ සියලු දෙනාම දන්නවා.

කෙසේ වෙතත් දෙවන රැල්ලත් මේ වසරේ මුල වන විට අපි බොහෝ දුරට පාලනය කොට තිබුනා.

සිංහල අළුත් අවුරුදු කාලයේ ජනතාව අවිධිමත්ව විශාල ලෙස කණ්ඩායම් ගැසී සංචාරය කිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස අපි දැන් කොරෝනා තුන්වන රැල්ලකට මුහුණ දී තිබෙනවා.

මේ වන විට වයිරස් ප්‍රභේද ගනනාවක් රට තුලට ඇතුල් වී තිබෙන අතර, වයිරසය වේගයෙන් හා පහසුවෙන් පැතිරීම නිසා, මින් පෙර වාරවලට වඩා අවදානම් තත්ත්වයක් උදා වී තිබෙනවා. රෝගය වේගයෙන් පැතිරී ආසාදිතයින් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවන විට එයට හදිසියේම මුහුණ

දෙන්නට සෞඛ්‍ය අංශයට ඇති මානව සම්පත් හා අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ අනුව රජයට යලිත් රට වසා දමන්නට සිදු උනා.

මෙවැනි වසංගත තත්ත්වයක් සමග කරන සටනේ දී, ලෝකයේ අනෙකුත් බොහෝ රටවලට මෙන්ම අපිටත් විටින් විට රට වසා දමන්නට සිදුවුනත් එම තීන්දුවේ අතුරු ප්‍රතිඵලත් අප තේරුම් ගත යුතුයි. ඒ අනුව විවිධ නීති රීති පනවන්නට සිදු වුනා. කර්මාන්තශාලා හා ආයතනවල වැඩ කරන පිරිස සීමා කරන්නට සිදු වුනා. නමුත් මේ තත්ත්වය අපේ කර්මාන්තවලට ඉතාම නරක විදියට බලපෑවා. විශේෂයෙන්ම, ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් ගෙන ආ ඇඟලුම් කර්මාන්තයට මින් විශාල පාඩුවක් සිදුවුනා. ඔවුන්ගේ ඇණවුම් නවතා දමනු ලැබූවා. බොහෝ දෙනෙකුට රැකියා නැතිවුනා. අපනයන ආදායම අඩු වුනා.

විදේශ රටවලත් කර්මාන්ත වසා දැමීම නිසා අපේ විදේශගත ශ්‍රමිකයින් ආපසු එන්න පටන් ගත්තා. ඔවුන් බොහෝ දෙනෙකුගේ රැකියා අහිමි වුනා. වසංගතයට බියේ ලංකාවට ආපසු ආ ලක්ෂ 2 කට අධික විදේශගත ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට ආපසු ඒ රටවලට යන්න තවමත් ඉඩ ලැබී නෑ. ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ මේ නිසා අඩු වුනා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරද්දී අපි වැඩිම බලාපොරොත්තුවක් තබා තිබුනේ, සංචාරක ව්‍යාපාරය ගැනයි. ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වුනු සංචාරක ව්‍යාපාරය 2025 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා දියුණු කරන්නට අපි සැලසුම් කොට තිබුණා.

නමුත් අද මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය අර්බූදයකට ලක් වෙලා. ගුවන් තොටුපොලවල් වහලා, සංචරණය සීමා වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 3 කට වැඩි පිරිසක් ජීවිකාව සඳහා යම් ආකාරයකින් සම්බන්ධව සිටි අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. ඍජු හා වක්‍ර රැකියා ලක්ෂ ගණනාවක් නැතිවෙලා. ස්වයං රැකියා කල ලක්ෂ ගණනකට ආදායම නැතිවෙලා, ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටි අය අද වනවිට අසීරුවට පත්වෙලා.

අපේ සංවර්ධන සැලැස්මේ තවත් විශාල බලාපොරොත්තුවක් වුනේ ඉදිකිරීම් කර්මාන්තයයි. අපිට අවශ්‍ය වී තිබුනේ බිඳ වැටී තිබු ඉදිකිරීම් කර්මාන්තයේ පුනර්ජීවනයක් යළි ඇති කරන්නයි. විටින් විට කරන රට වසා දැමීම නිසා මේ ක්ෂේත්‍රයට විශාල පහරක් වැදී තිබෙනවා. ඉදිකිරීම් සමාගම්වලට අවශ්‍ය ආකාරයට සේවකයින් ගෙන්වා ගන්න හැකියාවක් නෑ.

අවශ්‍ය වෙලාවට අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න හැකියාවක් නෑ. පසුගිය වසර එක හමාර තුළ අපි බලාපොරොත්තු වුනු දේශීය හා විදේශීය ආයෝජන බොහොමයක් අපිට අහිමි වුනා.

මේ සියලු කාරණා නිසා අපි මුලින් සැලසුම් කොට තිබූ විදේශ විනිමය ප්‍රමාණය අපට ලැබුනේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ අපට විදේශ විනිමය වඩා පරිස්සමින් කලමණාකරනය කරන්නට වෙනවා.

අපේ දේශීය ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. සමස්ත දල ජාතික නිෂ්පාදිතයෙන් 50% කට වඩා ප්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාරවලටත් කොරෝනා වසංගතය විශාල ගැටලුවක් වුනා. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලට දිගින් දිගට බාධා සිදු වීම නිසා ඒ සමාගම් වලට ආදායම් අහිමි වී තමන්ගේ ණය ගෙවා ගන්නට හෝ වැටුප් ගෙවා ගන්න බැරිව බරපතල ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නට සිදු වුනා. ජනතාව අතර මුදල් හිඟ උනා. වාහන ලීස් කල අයට වාරිකය ගෙවා ගන්නට බැරි උනා. නිවාස ණය ගත් අයට ඒ ණය වාරික ගෙවා ගන්නට බැරි උනා. දිනපතා ණයට මුදල් ගෙන ව්‍යාපාර කරන අය ගැනුම්කරුවන් නොමැතිව අපහසුතාවයට පත් උනා.

මේ තත්ත්වයෙන් ඔවුන්ව මුදවා ගැනීම සඳහා ඔවුන්ගේ ණය ගෙවීමට අමතර කාලයක් ලබා දෙන්නට රජය ක්‍රියාකලා. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය කල් ගැනීම් පහසුකම් සපයන්නට රජය රුපියල් බිලියන 400 කට වඩා වෙන් කලා.

අපි බලයට ආවට පසුව, බදු අඩු කිරීම නිසා රාජ්‍ය ආදායම අඩු උනා කියා විපක්ෂය අපට චෝදනා කරනවා. නමුත් අපි එදා එසේ නොකලානම් මේ කොරෝනා වසංගත තත්ත්වය යටතේ ජනතාවට මීටත් වඩා පීඩනයක් ඇතිවෙන්නට තිබුනා. පසු ගිය රජය ජනතාව මත විශාල බදු බරක්

පනවා තිබුනා. 2015-2019 කාලය තුල ඍජු හා වක්‍ර බදු දෙගුණ වී තිබුනා. අපි බලයට ආ වහාම ඒ පීඩනයෙන් ජනතාව නිදහස් කලා. මේ සියලු බාධක මැද අපි ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටු කලා.

රජය විසින් සෑම වසරකම අයවැයෙන්ම මුදල් වෙන්කොට ජනතාවට ලබාදෙන සහන රාශියක් තිබෙනවා. ඒ අතර සමෘද්ධිය සඳහා රුපියල් බිලියන 50 කුත්, නොමිලේ බෙහෙත් ලබා දීම සඳහා රුපියල් බිලියන 90 කුත්, ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් රුපියල් බිලියන 40 කුත්, විශ්‍රාම වැටුප් වශයෙන් රුපියල් බිලියන 250 කුත්, පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 35 කුත්, පාසල් දරුවන්ගේ නිල ඇඳුම්, පෙළ පොත් සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 25 කුත්, පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තුව ඇතුලු තවත් විවිධ සහන ලෙස බිලියන 70 කුත් සමග සමස්තයක් වශයෙන් බිලියන 560ක් පමණ වැය කරනවා. කොරෝනා අර්බුදයට මුහුණ දීමට අලුත් වියදම් රාශියක් රජයට දරන්න සිදු වී තිබෙනවා.

කොරෝනා වලට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රුපියල් බිලියන 30 ක් පමණ වැය කරනවා. මේ වනවිට අවස්ථා ගණනාවක දී රජය මෙම වියදම දරා තිබෙනවා. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව අමතර වියදම් රාශියක් රජය දරනවා. පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කරන්නටත්, හඳුනාගත් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්නටත්, ප්‍රතිකාර මධ්‍යස්ථාන රාශියක් අලුතින් පිහිටුවීමටත් රජය අමතර වියදම් දරා තිබෙනවා.

රජය මගින් නඩත්තු කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල වියදමට අමතරව තමන්ගේ ම නිවස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා රුපියල් 10,000 ක සහන මල්ලක් ලබා දෙනවා. කොරෝනා අර්බුදය පටන් ගත් දා සිට මේ වනතුරු රුපියල් බිලියන 260 කට වඩා ජනතා සහන වෙනුවෙන් රජය වියදම් කොට තිබෙනවා.

සැලසුම් කොට තිබූ සහනාධාර වලට කොරෝනා වියදමත් එකතු වූ විට එය පසුගිය වසරේ රටේ සමස්ත රාජ්‍ය ආදායම වන රුපියල් බිලියන 1380 න් හරි අඩක් පමණ වෙනවා. කොරෝනා වසංගතය නිසා ඇතිවූ අසීරු තත්ත්වය යටතේ පවා රජය කිසිම විටක මිලියන 1.4 කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා ඉවත් කරන්නට කටයුතු කලේ නැහැ.

අපේ විදේශ විනිමය ආදායම් අඩු වුනාට, රජය විසින් පිටර‍ට මූල්‍ය ආයතනවලට ගෙවිය යුතු ණය වාරික ගෙවීම පැහැර හැරියේ නැහැ. පසු ගිය කාලයේ විවිධ රජයන් විසින් ගෙන තිබුනු ණය නිසා අපට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමන විශාල ණය වාරිකයක් ගෙවන්නට තිබුනා. රජයට මේ ණය ගෙවන්න බැරි වෙයි කියා මතයක් විපක්‍ෂය ජනගත කලා. නමුත් අපි රට අපකීර්තියට පත් නොකර ඒ සියළු ණය මුදල් නියමිත දිනට ගෙව්වා.

මේ තත්ත්වය යටතේ විදේශ විනිමය අර්බූදයක් වලක්වා ගැනීම රජයේ වගකීමයි. ඒ නිසා රජයක් වශයෙන් අපිට යම් දැඩි තීන්දු ගන්න සිද්ධ උනා. සමහර අත්‍යවශ්‍ය නොවන ආනයනයන් පාලනය කරන්නට, විශේෂයෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය පාලනය කරන්නට, අපිට සිදු වුනේ ඒ නිසායි. මේවා හැමදාටම පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වන සීමාවන් නොවෙයි. අපි බලාපොරොත්තු වෙනවා රටට ආදරය කරන, අනාගතය දකින, බුද්ධිමත් ජනතාව කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන මේ අර්බූදයෙන් ගොඩ එන්නට අපට සහාය දෙයි කියා.

අපේ රජයේ අඩුපාඩුවක්ව තිබුනේ අපි කරන සංවර්ධන කටයුතු නිසියාකාරව ජනතාවට සන්නිවේදනය නොකිරීමයි. නමුත් එහි ප්‍රතිඵලය ලෙස ජනතාව මාධ්‍ය වලින් දැක්කේ ගැටලු පමණයි. සමාජ ජාල වල සාකච්ඡා වුනේ ප්‍රශ්ණගත සිද්ධීන් පමණයි. ඒ නිසා කොරෝනා අර්බුදය මැද රජය කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘති වලින් රටට, ජනතාවට ලැබුන ප්‍රතිලාභ ගැන කවුරුත් කතා කලේ නැහැ.

පුද්ගල ප්‍රතිරූප පිම්බීම සදහා ප්‍රචාරණ කටයුතු නොකලාට ආණ්ඩුවක් කරන වැඩ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. නැත්නම් වන්නේ දේශපාලන අවශ්‍යතාවයන් මත වැරදි තොරතුරු ජනගත

කරන්නට ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට අවස්ථාව ලැබීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අද සත්‍යය යටපත් වී බොරුව ජයගනිමින් තිබෙනවා.

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීමේදී රටේ ආහාර සුරක්ෂිතභාවයේ වැදගත් කම ගැන අපි විශේෂ අවධානයක් යොදවා තිබීම කොරෝනා වසංගතය අවස්ථාවේ විශාල ආශිර්වාදයක් උනා. පිටරටින් එන ආහාර මත යැපුණ රටවල් අසීරුතාවයන්ට පත්වද්දී, අපට එවැනි ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවුනේ නැහැ.

අපේ ප්‍රතිපත්ති හරහා දේශීය කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනයක් ඇති කරන්නට අපට පුළුවන් වෙලා තිබෙනවා. වී සඳහා සහතික මිලක් ලබාදීම තුලින් අපි වී ගොවියා ශක්තිමත් කලා. පොහොර නොමිලේ ලබා දුන්නා. තේ, පොල්, රබර්, කුරුඳුවලට පසුගිය කාලයේ හොඳ මිලක් ලැබුණා.ලංකාව තුළ වගා කළ හැකි කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය හා ප්‍රතිඅපනයනය තහනම් කිරීම මගින් ගම්මිරිස්, කහ වැනි භෝග වලට හොඳ වෙළඳපොලක් නිර්මාණය කලා. එතනෝල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල නිසා අපේ සීනි කම්හල් අද ලාභ ලබනවා.

ගොවිතැනට නිසි ගෞරවය ලබා දීම නිසා වෙනදා කෘෂිකර්මාන්තය ගැන උනන්දුවක් නොදැක්වූ බොහෝ දෙනෙක් අද විවිධ මට්ටමේ කෘෂිකාර්මික ව්‍යාපෘති වලට යොමුවෙලා තිබෙනවා. කෘෂිකර්මාන්තය නගා සිටවීම සඳහා අපි රට පුරා වැව් 14,000 ක් ප්‍රතිසංස්කරණය කරන විශාල වැඩ පිළිවෙලක් ආරම්භ කොට තිබෙනවා. මේ හරහා පුරන් වී තිබෙන කුඹුරු හා අතහැර දමා තිබෙන වගා බිම් දහස් ගනනක් අස්වද්දන්නට අපට අවස්ථාව ලැබී තිබෙනව‍ා.

පාරිසරික හා දේශගුණික විපර්යාසවලට ශක්තිමත්ව මුහුණ දිය හැකි තිරසර සංවර්ධන ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපි වැදගත් පියවර කිහිපයක්ම අරගෙන තියෙනවා. රට තුලට රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම එහි තවත් වැදගත් පියවරක්.

මේ කාරණය සම්බන්ධයෙන් දශක ගනණාවක් අපේ රටේ කතිකාවක් තිබුනා. මීට වසර 45 කට පමන පෙර මේ රටට හඳුන්වාදුන් රසායනික පොහොර භාවිත‍ය, අපේ රටට මේ වන විට විශාල සමාජ උවදුරක් වෙලා. මෙහි අතුරු ඵලයක් ලෙස අපේ පස නිසරු වෙලා. අපේ ජලය විෂ වෙලා. වකුගඩු රෝගය, පිළිකා රෝගය වැනි රෝග ගනනාවකට හේතුව විශාල වශයෙන් පසට හා ජලයට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම බව විද්වතුන් බොහෝ දෙනෙකුගේ මතයයි. රසායනික පොහොර භාවිතය නිසා මිනිස් ජීවිතයට වන හානියට හේතුව සොයා එයට පිළියම් යෙදිය යුතුමයි.

දීර්ඝකාලීනව ජන ජීවිතයට වන හානිය ගැන විශාල කතිකාවක් සමාජය තුල තිබුනත්, ඒ සම්බන්ධයෙන් ඍජු තීන්දුවක් ගැනීමේ හැකියාව මින් පෙර කිසිදු රජයකට තිබුනේ නෑ. රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව රට කාබනික පොහොර භාවිතයට යොමු කරන බවට වූ පොරොන්දුව මේ රටේ 69 ලක්ෂයක් ජනතාව අනුමත කළා. ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ එම පොරොන්දුව ඉටු කිරීමට මම බැඳී සිටිනවා. අනාගත පරම්පරාවේ සුබසිද්ධිය වෙනුවෙන් එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වර්තමාන පරම්පරාවේ වගකීමක්.

පිටරටින් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීම හදිසි තීරණයක් නොවේ. එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර ඉදිරි කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මෙරටට ගෙන්වා තිබුනා. මේ වන විටත් වගා බිම් හෙක්ටයාර මිලියන 1 1/2 කට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් බෙදා දී අවසන්. ඒ සමගම කාබනික පොහොරත් මෙට්‍රික් ටොන් 8,000 ක් පමන බෙදා දී තිබෙනවා. ඉදිරි මහකන්නය සඳහා ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර සියල්ල ලබා දෙන බවට රජය සහතික වෙනවා.

අපි මේ ප්‍රතිපත්තිමය තීරණය ගැනීමත් සමග රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යවසායකයන් හා සමාගම් විශාල වශයෙන් ඉදිරිපත් වී තිබෙනවා. කලින් කලට වෙනස්

වන ප්‍රතිපත්ති නිසා දශක තුනකට ආසන්න කාලයක් අපට පීඩා කළ යුද්ධය ඍජු ස්ථාවර ප්‍රතිපත්තියක් යටතේ වසර දෙක හමාරක් වැනි කෙටි කාලයකින් අවසන් කල ආකාරය මා ඔබට මතක් කරන්නට කැමතියි. රටට හිතකර සාධනීය හේතු මත නිවැරදි තීරණයක් ගෙන ඉදිරියට තැබූ පය ආපසු නොගත යුතුයි. දැන් අපි ක්‍රමයෙන් කාබනික පොහොර භාවිතය වර්ධනය කල යුතුයි. ජාතියක් වශයෙන් එක්ව මේ සඳහා සෑම දෙනාම අත්වැල් බැඳ ගත යුතුයි.

දේශීය මෙන්ම විදේශීය විශේෂඥයින් අපට පෙන්වා දෙන්නේ කාබනික පොහොර භාවිතයේ දීර්ඝකාලීන වාසි රටක් වශයෙන් අපට නිසැකවම බලාපොරොත්තු විය හැකි බවයි. පස සරුසාර වීම, ඵලදායීතාව ඉහල යාම, වැඩි ආදායමක් බලාපොරොත්තු විය හැකි වීම, කෘෂි නිශ්පාදන සඳහා විශාල වෙළඳ පොලක් විවෘත වීම මෙන්ම ජනතාව වඩා නිරෝගීමත් වීම අපට ලැබෙන ප්‍රතිලාභ අතර තිබෙනවා.

මිනිසා ස්වාභාවික පරිසරයට කරන බාහිර බලපෑම් නතර කල හොත් ඉතා ඉක්මනින් තමන්ට වූ හානිවලට පිලියම් කරන්නට පරිසරයට හැකියාව තිබෙනවා. කොරෝනා පලමු රැල්ල ආ අවස්ථාවේ එක අවස්ථාවක සති ගණනාවක් ලෝකයේ සෑම රටක්ම වාගේ වසා දමනු ලැබුවා.

ඒ අවස්ථාවේ එම රටවල ඉතා අපිරිසිදුව තිබූ වායුතලය ඉබේම වාගේ පිරිසිදු වුනා. මෙයින් ඉතා හොඳ පණිවිඩයක් ලොවට කීවා. එනම් මිනිසා පරිසරයට හානි නොකරනවානම් හිතනවාට වඩා වේගයෙන් පරිසරය ක්‍රියාත්මක වී මිනිසාව ආරක්ෂා කරගන්නා බව.

ලෝක වෙළඳ පොලේ තරඟ කරන්නට නම් පිටරටින් ගෙන්වන තේ සමඟ හෝ වෙනත් අමුද්‍රව්‍ය සමඟ අපේ තේ මිශ්‍ර කළ යුතුය කියා මතයක් තිබුණා. නමුත් අපේ තේ වල ප්‍රමිතිය ආරක්ෂා කල යුතුයැයි රජය දැඩි ස්ථාවරයක සිටියා. එහි ප්‍රතිපලයක් වශයෙන් 2019 ට වඩා දල වශයෙන් තේ කිලෝවකට රුපියල් 83 ක් පමන වැඩි පුර ගන්න කර්මාන්ත ශාලාවලට පුලුවන් වුනා. 2021 වන විට මෙම මිල තවත් ඉහල ගියා පමනක් නොව තේ නිශ්පාදනයද ඉහල ගිය නිසා 2021 පලමු මාස හතරෙන් තේ කර්මාන්තය උපයපු විදේශීය ආදායම වන රුපියල් බිලියන 81, පසුගිය වසරේ පලමු මාස හතරට වඩා රුපියල් බිලියන 17 කින් වැඩි වී තිබෙනවා. ලෝක වෙලඳපොලේ අනෙකුත් රටවලට සාපේක්ෂව අපගේ ceylon tea කිලෝවක් සදහා $ 4.82 ක ඉහලම අගය, විදේශ විනිමය වශයෙන් අපට ලැබුනා. අපි ගත් අමාරු නමුත් නිවැරදි තීන්දු වල ප්‍රතිඵල සාර්ථක බවට මෙය හොඳ උදාහරණයක්.

රසායනික පොහොර නොමැතිව ගොවිතැන දියුණු කරන්න බැහැ කියන මතය දරණ අයටත් මේ තීරණය නිසා ලැබෙන දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිලාභ ඉදිරියේදී පැහැදිලි වනවා නිසැකයි. අද කාබනික පොහොර යොදා කරන නිශ්පාදන වලට ලෝකය පුරා විශාල ඉල්ලුමක් තිබෙනවා. ලංකාව රසායනික පොහොර භාවිතා නොකරන රටක් වශයෙන් ජාත්‍යන්තරය හඳුනා ගත් විට අපට විශාල වෙළඳ පොලක් විවෘත වනවා.

එයින් ගොවියන්ට හා ව්‍යවසායකයන්ට ඉතා හොඳ මිලක් අපේක්ෂා කරන්න පුලුවන්. කාබනික ආහාර වලට ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙය රටට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ නිසා බුද්ධිමත් ව්‍යවසායකයන් කල යුත්තේ සුබදායි අනාගතයකින් උපරිම ප්‍රයෝජන ගැනීමට සුදානම් වීම මිස වර්තමාන දුෂ්කරතා ගැන පැමිණිලි කරමින් සිටීම නොවෙයි.

නිවාස සංවර්ධනය මගේ රජය විශේෂ අවධානයක් දී තිබෙන තවත් ක්ෂේත්‍රයක්. නිදහසින් වසර 72 කට පසුවත් මේ රටේ පවුල් මිලියන 6 ක් පමන සිටින පුරවැසියන් බොහෝ දෙනෙකුට තම ජීවන මට්ටමට සරිලන නිවසක් තවමත් නැහැ. විශාල පිරිසක් තවමත් ජීවත් වන්නේ අර්ධ සම්පූර්ණ නිවාස වල, හෝ පහසුකම් අඩු කුලී නිවාස වල. තවත් විශාල පිරිසක් පැල්පත් වල ජීවත් වෙනවා. සමහර විට පදිංචිකරුවන්ට තම ඉඩමට ඔප්පුවක් නැති නිසා නිවසේ ඉදිරි සංවර්ධන කටයුතු කරගන්නට බැහැ. මේ තත්ත්වය වෙනස් කොට සතුටින් ජීවත්වන පවුලක් ‍යන තේමාව යටතේ මේ රටේ ජීවත් වන සෑම පවුලකටම ජීවත් වීමට සුදුසු නිවසක් ලබා ගත හැකි පරිසරයක් අපි නිර්මාණය කරනවා.

2014 ට පෙර අප විසින් සාර්ථකව කරගෙන ආ නිවාස සංවර්ධන ව්‍යාපෘති යලිත් වේගවත්ව ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබෙනවා. ඉදිරි වසර 4 තුල නිවාස ලක්ෂ තුනක් රජය විසින්

හා රාජ්‍ය හා පෞද්ගලික අංශයන් එ්කාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති හරහා ඉදි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර නාගරික නිවාස හැට දහසකුත්, ග්‍රාමීය නිවාස ලක්ෂ 2 කුත් ඉදිවෙනවා. වතු නිවාස හා කුළී නිවාස 40 දහසකුත් අපේ සැලැස්මට අයිති වෙනවා.මේ නිවාස වලින් නිවාස 20 දහසකට වඩා මේ වන විටත් ඉදි වෙමින් තිබෙනවා. තවත් 10,000 ක් පමන මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරනවා.

පසුගිය රජය යටතේ වසර 5 ටම අඩු ආදායම් ලාභීන් සඳහා අරම්භ කර තිබුනේ මහල් නිවාස ඒකක 450 ක් පමනයි. නමුත් මේ වන විටත් අපි අඩු ආදායම් ලාභීන් සඳහා මහල් නිවාස ඒකක 7000 ක් පමන ඉදි කරනවා. මැදි ආදායම්ලාභීන් සඳහා මහල් නිවාස ඒකක 3000 ක වැඩ ආරම්භ වෙලා තිබෙනවා. ග්‍රාමීය නිවාස 14,000 ක්, එක ගමකට එක ගෙයක් වැඩ සටහන යටතේ ඉදි වෙමින් තිබෙනවා.

ග්‍රාමීය ජනතාව තුල දිළිඳුකම පිටු දැකීමේ තවත් පියවරක් ලෙස ඉඩම් අහිමි පවුල් වලට වගා කල හැකි ඉඩම් ලබා දීමේ වැඩ පිලිවෙල ඉතා සාර්ථකව ඉදිරියට යනවා. මේ වන විටත් පවුල් 20,000 කට වඩා අක්කරය බැගින් ඉඩම් ලබා දී තිබෙනවා. පාරම්පරිකව වසර ගණනාවක් පදිංචි වී සිටියත්, ඉඩම් අයිතිය අහිමි 100,000 කට වැඩි පිරිසකට නීත්‍යානුකූල ඔප්පු ලබාදීමේ වැඩ පිලිවෙලක්ද ක්‍රියාත්මක වෙනවා.

සැමට පානීය ජලය ලබා දීම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සඳහන් කළ ඉතා වැදගත් පොරොන්දුවක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරම්භ කළ කැළණිය දකුණු ඉවුර, දැදුරු ඔය වගේ විශාල ජල සම්පාදන ව්‍යාපෘති ගණනාවක් පසුගිය රජය කාලයේ අඩපණ වී තිබුණා. අපේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ ආකාරයට, අපි බලයට පත් වූ වහාම රුපියල් බිලියන 50 ක මුදලක් ආයෝජනය කර මේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නට අපේ රජය කටයුතු කලා.

ඒ අනුව 2019 වර්ෂය වන විට සියයට 41% ව පැවති පිරිසිදු පානීය ජල ආවරණය මේ වන විට සියයට 52% දක්වා වර්ධනය කරන්නට අපට හැකි වෙලා තියෙනවා. 2025 වසර වන විට එම අගය 79% දක්වා වර්ධනය කිරීම අපේ ඉලක්කයයි. මේ යටතේ, 2021 වසරේ දී අලව්ව – පොල්ගහවෙල, මතුගම අගලවත්ත, විසල් මාතලේ, අනුරාධපුර උතුර, කොළඹ නැගෙනහිර, මැදිරිගිරිය සහ ගාල්ල පොකුරු ජල සම්පාදන ව්‍යාපෘතිය යන ජල සම්පාදන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා දරා ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 100කට අධිකයි.

රැකියා විරහිත උපාධිධාරි තරුණ තරුණියන්ට රැකියා ලබා දීම මැතිවරණ සමයේ අපෙන් කල ප්‍රධාන ඉල්ලීමක්. ඒ අනුව රජය පත් වූ වහාම ඒ අවස්ථාවේ රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 65000කට රජයේ රැකියා ලබාදීමට කටයුතු කළා. මීට අමතරව, සාමාන්‍ය පෙළ අසමත්, එමෙන්ම ආර්ථික වශයෙන් පහළම මට්ටමේ සිටි පවුල්වල තරුණ තරුණියන් 100,000 ක් බහු කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යටතේ රැකියා ගත කිරීමට අප සැලසුම් කොට තිබෙනවා. එහි පළමු අදියර යටතේ මේ වනවිටත් තරුණ තරුණියන් 35,000 ක් බඳවා ගෙන, ඔවුන් දිවයින පුරා රජයේ ආයතනවලට පුහුණුව සඳහා යොමු කොට තිබෙනවා. පුහුණුව අවසන් කළ පසු මේ සියලු දෙනා රජයේ විවිධ ආයතනවල ප්‍රාථමික ශ්‍රේණියේ තනතුරු සඳහා අනුයුක්ත කිරීමට නියමිතයි. ඉදිරියේ දී සෙසු පිරිස ද කඩිනමින් බඳවා ගැනීමට අපි කටයුතු කරනවා.

අපි අධ්‍යාපන ක්ෂේත්‍රය ගැනත් මැතිවරණ වේදිකාවල බොහෝ විට කතා කලා. පොරොන්දු වූ අ‍ාකාරයට නිසි අවධානය අධ්‍යපනයට ලබා දුන්නා. පසුගිය කාලයේ කොරෝනා නිසා බොහෝ විට පාසැල වසා තබන්නට සිදු වුනත් අපි දුරස්ථ අධ්‍යාපනයේ විශාල ප්‍රගතියක් අත්කරගනිමින් දරුවන්ට අවශ්‍ය අධ්‍යපන පහසුකම් නොකඩවා ලබා දුන්නා.

පාසැල් දස දහසකට ෆයිබර් ඔප්ටික්ස් සම්බන්ධතා ලබා දී තිබෙනවා. තවත් පාසැල් මේ වැඩසටහනට සම්බන්ධ කෙරෙමින් පවතිනවා

දැනට පවතින ජාතික පාසැල් 373 ට අමතරව පාසැල් 1000 ක් ජාතික පාසැල් ලෙස සංවර්ධනය කරනවා. මේ පාසැල් දැනටමත් හඳුනාගෙන ඇති අතර සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම

අවම වශයෙන් පාසැල් 3ක් අළුතින් ජාතික පාසැල් ලෙස වර්ගීකරණය කොට, ඒවායේ භෞතික පහසුකම් හා ගුණාත්මක බව වැඩිකිරීමට මුදල් වෙන්කොට තිබෙනවා.

විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය දැනටමත් 30% කින් ඉහල නංවා තිබෙනවා. ඒ අනුව වෙනදා ඇතුලත් වන 20,000 ට අමතරව වැඩිපුර සිසුන් 10,000 ක් පසුගිය වසරේ විශ්ව විද්‍යාලවලට ඇතුල් වුනා. නිදහසින් පසු එක් වසරක් තුල සරසවි වරම් ලබන සිසුන් ප්‍රමාණය මෙතරම් ඉහල ගිය අන් වසරක් නැහැ.

මීට අමතරව මේ වසරේ විවෘත විශ්ව විද්‍යාල වලට තාක්ෂණික උපාධි සඳහා අළුතින් සිසුන් 10,000 ක් බඳවා ගන්නටත් ඔවුන්ට පලමු වසරේ සිටම රැකියා කරන ගමන් අධ්‍යාපනය ලබාදීමටත් අපි සියල්ල සූදානම් කොට තිබෙනවා.

පසුගිය මැයි මාසයේ ලංකාවේ පළවෙනි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වුනා. මේ වසරේ ආරම්භ වන දෙවන විශ්ව විද්‍යාලය ලෙස වව්නියාව විශ්ව විද්‍යාලය අගෝස්තු මස විවෘත කිරීමට නියමිතයි.

යාපනය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලවල සිද්ධ වෛද්‍ය ඒකක, විශ්ව විද්‍යාල පීඨ දක්වා උසස් කරනු ලබන අතර ප්‍රාසාංගික කලාව ප්‍රවර්ධනය සඳහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ප්‍රාසාංගික කලා පීඨය ස්ථාපනය කරනු ලබනවා.

මැතිවරණ කාලය තුළ අප ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් ලංකාවේ සියලු ගුරු විද්‍යාපීඨ සියල්ල ඒකාබද්ධ කර ජාතික ගුරු පුහුණු විශ්වවිද්‍යාලයකුත්, සියලු රාජ්‍ය හෙද පාසල් ඒකාබද්ධ කොට, ජාතික හෙද විශ්වවිද්‍යාලයකුත් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්.

වැවිලි කර්මාන්තයට හා කෘෂි කර්මාන්තයට අදාල දැනට ස්ථාපිත සියලු පර්යේෂණ ආයතන ඒකාබද්ධ කොට වැවිලි හා කෘෂිකර්මාන්තය පිළිබඳ ජාතික විශ්වවිද්‍යාලයක් ගොඩනැඟීම සඳහා මේ වනවිටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මීට අමතරව උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික්ක 10 ක් තෝරාගෙන ඒවායේ නගරාශ්‍රිත විශ්ව විදාල CITY UNIVERSITIES ගොඩ නැගීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා.

රට තුල තාක්ෂණික අධ්‍යාපනය දියුණු කිරීමට විශාල වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වෙනවා. කොරෝනා වසංගත තත්ත්වය යටතේ සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම මාර්ගගත (online) ක්‍රමයට පවත්වා ගෙන යාමට අපි කටයුතු කලා.

විද්‍යා තාක්ෂණ ඉංජිනේරු හා ගණිත ( STEM) විෂය ධාරා හදාරන සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට සෑම විශ්ව විද්‍යාලයකම අලුතින් පීඨ ඉදිකිරීමට අපි මුදල් වෙන් කොට වැඩ ආරම්භ කොට තිබෙනවා.

තාක්ෂණික ආයතන වල පාඨමාලා හදාරණ සිසුන්ට රුපියල් 5000 ක දීමනාවක් මෙවර අයවැයෙන් අපි අනුමත කලා.

මහින්ද රාජපක්ෂ යුගයේ සැලසුම් කල අධිවේගී මාර්ග පද්ධතිය සම්පූර්ණ කිරීම අපේ රටේ අනාගත සංවර්ධනයට ඉතාම වැදගත් ආයෝජනයක්. ඒ නිසා පසුගිය පාලන කාලය සමයේ මන්දගාමී වී තිබූ මේ වැඩපිළිවෙල අපි යලි ඉතාමත්ම වේගවත් කොට තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටස දැන් වේගයෙන් ඉදිවෙමින් පවතිනවා. එය තව මාස 3 කින් පමන අවසන් වීමට නියමිතයි. කිලෝ මීටර් 15 ක් පමන ප්‍රමාණයක් කනු මතින් ඉදිවන කඩවත මීරිගම කොටස 2023 අග අවසන් වීමට නියමිතයි. කුරුණෑගල දඹුල්ල කොටසත් ලඟදීම ආරම්භ වෙනවා. නුවර බලා යන මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා යන වැදගත් කොටස දැන් ආරම්භ වී තිබෙන අතර 2023 වන විට මෙයද අවසන් වීමට නියමිතයි. මේ අනුව 2024 වන විට කොළඹ සිට නුවරට මධ්‍යම අධි වේගී මාර්ගයේ යන්නට ජනතාවට අවස්ථාව ලැබෙනවා.

කැලණි පාලම ලඟ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා කනු මතින් ඉදිවන අධිවේගී මාර්ගයත් කැලණි පාලම ලඟ සිට වරාය නගරය දක්වා යන අධිවේගී මාර්ගයත් මේ වන විට ඉදිකිරීම් ආරම්භ වී තිබෙනවා. 2023 දී මේවායේත් වැඩ අවසන් වෙනවා.

මං තීරු හයක් ඇති නව කැලණි පාලම හා අනුබද්ධිත මංසංධිය මේ වසරේදී විවෘත කිරීමට බලා පොරොත්තු වෙනවා.

මීට අමතරව රජය සැලසුම් කොට තිබෙන රටපුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදි කිරීමේ වැඩ පිලිවෙලේ කිලෝමීටර් 25 දහසක පමන වැඩ මේ වන විටත් නිමා වෙමින් තිබෙනවා.

මාර්ග තදබදයට විසඳුමක් ලෙස කොළඹ නගරය තුල ගුවන් පාලම් 5 කුත්, නුවර එක් ගුවන් පාලමකුත් ඉදි කරමින් පවතිනවා. මීට අමතරව ජනාකීර්ණ නගර ආවරණය වන පරිදි බහුවිධ රථගාල් සහිත ගොඩනැගිලි 9 ක් ඉදිකිරීම ආරම්භ වී තිබෙනවා.

රුවන් පුර අධිවේගී මාර්ගයේ පලමු පියවර අපි පසුගියදා ආරම්භ කලා. මේ අධිවේගී මාර්ගය 2023 අවසන් වන විට සම්පූර්ණයෙන්ම ඉදි කොට අවසන් කරනවා.

රටේ සංවර්ධනයට යටිතල පහසුකම්වල අවශ්‍යතාවය ඕනෑම කෙනෙකුට වැටහෙනවා. නිවාස, මාර්ග පමණක් නොව, සෑම ආකාරයකම යටිතල පහසුකම් සංවර්ධනයට අපේ රජය පසුගිය කාලයේ විශාල අවධානයක් යොමුකලා.

2021 වසර සඳහා ග්‍රාමීය වැව් 14,000 ක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, පාලම් 10,000 ක් ඉදි කිරීමටත් ප්‍රතිපාදන වෙන් කොට ඉන් බොහෝමයක වැඩ ආරම්භ වී තිබෙනවා. රටපුරා ක්‍රීඩාංගන 1000 කට වඩා ඉදිවෙනවා. ග්‍රාමීය රෝහල් ප්‍රතිසංස්කරණය වෙනවා. ‘සියක් නගර’ වැඩසටහන යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ නගර 100 ක සංවර්ධන කටයුතු මේ වසරේ අවසන් වෙනවා.

නගර අලංකරණ ව්‍යාපෘති සියල්ල හරිත ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කරන්නට අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. සියලුම ප්‍රධාන හා උප නගරවල නාගරික වනෝද්‍යාන සැලසුම් කෙරෙනවා. අනවසර ඉදිකිරීම් සහ කසල බැහැර කිරීම් හේතුවෙන් පසුගිය දා විශාල සමාජ කතිකාවකට හේතු වූ මුතුරාජවෙල තෙත්බිම රජයට පවරාගෙන එය රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

තාක්ෂණය මත පදනම් වන සමාජයක් බිහිකිරීමට උපකාරයක් ලෙස ගාල්ල, කුරුණෑගල, නුවර එලිය, මහනුවර හා දඹුල්ල නගරාශ්‍රිතව තාක්ෂණික උද්‍යාන ඉදි වෙමින් පවතිනවා.

2030 වන විට ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තී ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරන බව අප දුන් මූලික පොරොන්දුවක්. මේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අපි පියවර රාශියක් ගෙන තිබෙනවා.

“ගමට බලාගාරයක්” වැඩසටහන යටතේ කිලෝ වොට් 100ක ධාරිතාවක් සහිත ග්‍රාමීය මට්ටමේ කුඩා සුර්ය බලාගාර 7000ක් දේශීය ආයෝජකයන් හරහා ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙන අතර ඉන් මෙගා වොට් 750 ක් ජාතික විදුලි බල පද්ධතියට එකතුවෙනවා. මෙගාවොට් 100 ක ධාරිතාවයෙන් යුත් මන්නාරම සුලංවිදුලි බලාගාරය හා මෙගාවොට් 240 ක ධාරිතාවයෙන් යුත් පුනරින් සුලං විදුලි බලාගාරවල ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. මෙගාවොට් 120 උමා ඔය සහ මෙගා වොට් 35 බ්‍රෝඩ්ලන්ඩ්ස් විදුලි බලාගාරය මේ වසරේ වැඩ අවසන් වෙනවා. මෙගා වොට් 31.5 ක ධාරිතාවකින් යුතු මොරගොල්ල ජල විදුලි බලාගාරයේ කටයුතු 2023 දී අවසන් වෙනවා. නාගරික ඝන අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමේ පලමු ව්‍යාපෘතිය කෙරවලපිටියේ ආරම්භ වුනා. එමෙන්ම, මෙගා වොට් 300 ක ධාරිතාවක් සහිත මෙරට පළමු ස්වභාවික වායු (Natural Gas) බලාගාරය කෙරවලපිටියේ දී ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන අතර මේ තුලින් මෙගා වොට් 300ක ධාරිතාවක් 2023 දි විදුලි ජනන පද්ධතියට එක් කෙරෙනවා. වහල මත සවිකරන සූර්ය කෝෂ පද්ධති 30,000 ක් හරහා මේ වන විටත් මෙගා වොට් 340 ක ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කොට තිබෙනවා.

එමෙන්ම පසුගිය ජූනි 16 වන දින ඉන්දියානු ජනරජය සමග අත්සන් කරනු ලැබූ, රුපියල් කෝටි 2000 ක ණය පහසුකම තුලින් රජයේ කාර්යාල පියසි මත සුර්ය පැනල (rooftop solar) සවිකිරීමට කටයුතු කරනු ලබනවා.

“දැයට එළිය” ව්‍යාපෘතිය යටතේ ලක්ෂයකට අධික ඉතාම දිළිඳු පවුල් සඳහා කිසිදු අයකිරීමකින් තොරව විදුලිය ලබා දෙනවා.

වාරි කළමනාකරණ ක්‍රමවේද හා ක්‍රමෝපායන් ශක්තිමත් කිරීම කඩිනම් ජාතික අවශ්‍යතාවයක් ලෙස අපේ රජය හඳුනාගෙන තියනවා. මේ යටතේ පවතින වාරි පද්ධති බල ගැන්වීමටත්, නව වාරි පද්ධති ඉදිකිරීමටත් අපි කටයුතු කලා. මෙහි මූලික පියවරක් ලෙස තෝරාගත් වාරි ව්‍යාපෘති 10 ක කටයුතු කඩිනම් කර තිබෙනවා.

ඒ අනුව, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් නියෝජනය කරනු ලබන වියළි කලාප‍යේ පානීය සහ වාරි ජල අවශ්‍යතාව ඉලක්ක කර ගනිමින්, උතුරු මැද පළාත් මහ ඇළ සහ වයඹ පළාත් මහ ඇළේ සංවර්ධන කටයුතු මේ වනවිට ආරම්භ කරලා තියෙනවා. මිණිපේ වම් ඉවුරු ඇළේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් වෙමින් පවතිනවා.

කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය හරහා ජල දුෂ්කරතාවයෙන් නිරන්තරයෙන් පීඩා විදින මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය සහ දෙකන්නයේ වගා කටයුතු සදහා වාරි ජලය සම්පාදනයටත් කටයුතු කරනු ලබනවා.

පහළ මල්වතු ඔය සහ මුන්දෙනිආරු වාරි ව්‍යාපෘතිය හරහා විශේෂයෙන් මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත්, නැගෙනහිර පළාතේ පානීය සහ වාරි ජල අවශ්‍යතා සම්පූර්ණ කෙරෙමින් තිබෙනවා.

ඖෂධ ආනයනය සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා. මෙම විශාල වියදම අවම කර ගැනීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට අපි කටයුතු කලා. ඒ අනුව, මේ වන විට සංස්ථාව එහි උපරිම නිෂ්පාදන ධාරිතාව ඉක්මවා ඖෂධ නිෂ්පාදනය කරනු ලබනවා. මෙම වසර තුළ පමණක්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රෝහල් පද්ධතිය සඳහා නව ඖෂධ වර්ග 7 ක් ඇතුළුව ඖෂධ වර්ග 65 ක් දේශීයව නිෂ්පාදනය කරනු ලබනවා. ඒ අතරින් ඖෂධ වර්ග 36 ක අමු ද්‍රව්‍ය දේශීයව සපයා ගැනිම මගින් ආනයනය සඳහා දරන ලද විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවෙලා තිබෙනවා.

හොරණ මිල්ලෑව ප්‍රදේශයේ පිළිකා නාශක ඖෂධ, විකලාංග උපකරණ සහ සාමාන්‍ය ඖෂධ නිෂ්පාදනාගරයක් වශයෙන් ඖෂධ නිෂ්පාදනාගාර 3ක ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා වන මූලික ප්‍රසම්පාදන කටයුතු මේ වන විටත් සිදුකර අවසන්. මෙම සියලුම ව්‍යාපෘතිවල අවසාන අරමුණ වෙන්නේ, රට තුළ දේශීය වශයෙන් ඖෂධ අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමත්, ඒ මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමත්.

මීට අමතරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අනුබද්ධව මෙරට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ආයතන කිහිපයකුත් දැනටමත් ඖෂධ නිෂ්පාදනාගාර ආරම්භ කර තියෙනවා.

ලංකාවේ භූමියට අලුතින් එක් වුනු හෙක්ටයාර් 269 ක් වූ කොළඹ වරාය නගරයට දේශීය හා විදේශීය ආයෝජකයින් ගෙන්වා ගැනීමේ අවස්ථාව දැන් අපිට උදා වෙලා තියෙනවා. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේ සම්මත වුනාට පසු ඒ සඳහා 100% ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් මා පත් කලා. අප විසින් ගොඬනැගීමට බලාපොරොත්තු වන මුල්‍ය නගරය සඳහා ප්‍රථම ආයෝජනය ලෙස ඩොලර් මිලියන 400 ක ආයෝජනයකින් ඉදිවන කුළුණු 2කින් සමන්විත වාණිජ ගොඬනැගිල්ලක් සඳහා කැබිනට් මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ අනුමැතිය මේ වනවිටත් ලැබී තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයක් අපි zoom තාක්ෂණය හරහා පැවැත්වූවා. එහිදී දේශීය හා විදේශීය ආයෝජකයින් පෙන්වන ලද විශාල උද්‍යෝගය අපේ අනාගත සංවර්ධන කටයුතු සඳහා ආයෝජන ගෙන්වා ගැනීමට ඇති ඉඩකඩ පිළිබද ධනාත්මක පණිවිඩයක් ලබා දෙනවා.

කලාපයේ වේගයෙන් දියුණු වන අනෙක් රටවල් හා සංසන්දනය කළ හැකි සාර්ථකත්වයක් විදේශ ආයෝජන සම්බන්ධයෙන් අපිට අත්කර ගන්නට පුලුවන් නම්, එය අපේ රටේ විදේශ සංචිත ශක්තිමත් කරගැනීමට විශාල පිටුවහලක් වෙනවා. ඒ හරහා ඍජු හා වක්‍ර ප්‍රතිලාභ රාශියක් අපේ රටේ ජනතාවට බලාපොරොත්තු විය හැකියි. මේ ආයෝජනවලට ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තු ගතවීමේ අවස්ථාව ලබාදීම හරහා අපේ රටේ සාමාන්‍ය ජනතාවටත් මේ ව්‍යාපාරයන්හි කොටස්කරුවන් වන්නට අවස්ථාව විවෘත කරන්නට අපි බලාපොරොත්තු වනවා.

රාජ්‍ය පාලනයේ දී අපි නීතියේ ආධිපත්‍යයට සැමවිටම ගරු කොට තිබෙනවා. රාජ්‍ය සේවකයින්ට බියකින් තොරව තම රාජකාරි ඉටු කරන්නට පුලුවන්. මා බලයට ආවාට පසු කිසිදු පත්වීමක් දේශපාලනීකරණය කලේ නෑ. පත්වීම් කලේ සුදුසුකම් මතයි. ඉහළ අධිකරණයන්ට විනිශ්චයකාරවරුන් පත්කිරීමේදීත්, නීතිපතිවරයා පත්කිරීමේදීත් ඒ සාධාරණත්වය ඉහළින්ම ඉටු කලා.

අතීතයේ වූ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්නට අපට යලි අවස්ථාවක් ලැබී තිබෙනවා. අපට සෞභාග්‍යය උදා කරගත හැක්කේ නිසි සැලැස්මක් ඇතුව වෙහෙස වී වැඩ කිරීමෙන් පමණයි. ලංකාවේ ඉතිහාසය ලියවෙන විට අප මේ ගත කරන කාලය මොන තරම් දුෂ්කරද යන්න සඳහන් වේවී. නමුත් ඒ දුෂ්කරතා මැද අපි සාර්ථකව ඉදිරියට යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම තිබෙන්නේ අප අතේයි.

මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මට සහයෝගය දුන් බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලුවේ රට පෙරදැරිකරගත් නායකත්වයක්. ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කලේ නැහැ. නමුත් මා බලයට ආවාට පසු සමහර දෙනෙකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා රජය සමඟ අමනාප වී සිටිනවා. ඔවුන් දැන් රජය විවේචනය කරනවා. රජය අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනවා. නමුත් මට අවශ්‍ය කිහිපදෙනෙකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමටයි.

මම එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සුදානම්. මම මගේ වගකීම නොපිරිහෙලා ඉටුකරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන් වගකීම බාරගන්නට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත් මගේ රජයටත් අපේ අරමුණු ඉටුකරගැනීම සඳහා සහයෝගය ලබා දෙයි කියා.

ඔබ සැමට මම සුබ ප්‍රාර්ථනා කරනවා

ස්තූතියි

තෙරුවන් සරණයි.”