රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කරන්නේ නම් ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් තුනක් ඉදිරිපත් වී තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වන සමන් රත්නප්‍රිය සහ  ලංකා බැංකු සේවක සංගමයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ඊ.කේ. විතාන යන මහත්වරු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය මගින් ඉකුත් 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් පනත් කෙටුම්පත තුළින් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූළකර ගැනීමට අවසර සලසා ඇති බවය.

එම පනත් කෙටුම්පත හරහා නීතිවිරෝධී ලෙස මුදල් උපයාගත් පුද්ගලයින්ට මුක්තියක් පිරිනමා ඇතැයි චෝදනාකරන පෙත්සම්කරුවන් එය  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියා සිටී.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් දේශීය ආදායම් පනත සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත වැනි පනත්වල අඩංගු ඇතැම් ප්‍රබල වගන්ති අක්‍රීය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනාකර තිබේ.

මේ අතර අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ඉකුත් දා ජනතා විමුක්ති පෙරමුණ විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.