අත්අඩංගුවට පත්විය යුත්තේ මුළුමනින් ම අසත්‍ය සහ අවිශ්වාසය මතම පදනම් වෙමින් කටයුතු කරන ආණ්ඩුව මිස අනතුර සහ අවදානම පිළිබඳව රටට කරුණු හෙළිදරව් කරන පුද්ගලයන් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉන්ධන හිඟයක් පිළිබඳව පුරෝකථනයක් ඉදිරිපත් කළ ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව බලවත් පිළිකුල සහ දැඩි විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර විපක්ෂ නායකවරයා එම සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“ආණ්ඩු විසින් ගෙන යනු ලබන අත්තනෝමතික ක්‍රියාවලියට ජනතා විරෝධය එල්ල වීමත් සමග ආණ්ඩුව හිතුමනාපයට පළි ගැනීම ද ආරම්භ කොට තිබේ. එහි දිගුවක් ලෙස වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීම පටන් ගෙන තිබේ. 

ඉන්ධන හිඟයක් ඇතිවීම පිළිබඳව පුරෝකථනයක් පළමුවරට අප විසින් ඉදිරිපත් කරනු ලැබුවේ අගෝස්තු 8 වන දා “ගෑස්, කිරිපිටි පෝලිම සමග ආණ්ඩුව සැරසෙන්නේ ඉන්ධන පෝලිමට ද?” යනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්ය.

ඉන් අනතුරුව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දන්වා සිටියේ, ඉන්ධන හිඟතාව හේතුකොටගෙන අරපිරිමැස්මෙන් ඉන්ධන භාවිත කරන ලෙසය.

ඉන්ධන සම්බන්ධව එවැනි තත්ත්වයක් පවතිද්දී ඊටම අදාළ පුරෝකථනයක් ඉදිරිපත් කළ ආනන්ද පාලිත මහතාව අත්අඩංගුවට ගැනීමෙහි අරමුණ දුෂ්ට එකක් බව සැකයක් නැත. අසත්‍ය ප්‍රකාශය සිදු කළ බවට චෝදනා කරමින්  ආනන්ද පාලිත මහතාව අත්අඩංගුවට ගන්නා ආණ්ඩුවට සිහිපත් කළ යුතු කරුණු කිහිපයක් තිබේ.

මේ ආණ්ඩුව පත් වූ දා සිට මේ දක්වා කරනු ලැබූ අසත්‍ය ප්‍රකාශ පිළිබඳව ආපසු හැරී බලා විමර්ශනයක් කරන්නේ නම් ආණ්ඩුවේ සියයට අනූවකට වඩා වැඩි පිරිසක් මේ වනවිටත් සිටිය යුත්තේ අත්අඩංගුවේය.”