කැබිනට් මණ්ඩලය ලබා දෙන තීරණය අනුව ගුරු – විදුහල්පති වැටුප් විෂමතා අරගලයේ ඉදිරි පියවරයන් තීරණය කරන බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

මහින්ද ජයසිංහ සඳහන් කළේ, මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන ක්‍රියාමාර්ග නතර කිරීමේ සූදානමක් නැති බවත් අරගලය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත්ය.

කොරෝනා වසංගතය හේතු කොටගෙන ගුරු පොකුරක් නිර්මාණය වන බවට ගුරුවරුන්ට චෝදනා කළ බවත් එය මේ වන විට අසාර්ථක වී ඇති බවත් ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“මට දිගින් දිගට ම Whatsapp Messages එවමින් විවිධ තර්ජනාත්මක දේවල් පවා සිදු කරමින් තිබෙනවා. මේ මෑතකදීත් කිහිප දෙනෙකු ම එවැනි ආකාරයට තර්ජනය කරමින් තිබෙනවා. මම ඔවුන්ට ඒ මට්ටමට ගිහිල්ලා ප්‍රතිචාර දක්වන්න ගියෙ නැහැ. ඒ මට්ටමට කුණුහරුප කියමින් තමයි ඔවුන් ප්‍රතිචාර දක්වමින් තිබෙන්නේ. ඒක ඔවුන්ගේ ප්‍රතිචාරය අපි අපේ ප්‍රතිචාරය පෙරළා දක්වමු. ඔවුන්ගේ මට්ටමට වැටෙන්නේ නැතුව,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මේ අතර විවිධ ප්‍රදේශවල ගුරු විදුහල්පතිවරුන් සමග සාකච්ඡා කරමින් විවිධ පුද්ගලයින් වැරදි මත නිර්මාණය කරමින් සිටින බව ද මහින්ද ජයසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්වරයා මෙසේ ප්‍රකාශ කළේය.

“සුබෝධනී කමිටු වාර්තාව හරහා තමන්ට උසස්වීම සඳහා වසර 18ක් 20ක් යනවා මේ වගේ බොරු ප්‍රචාර, මේ සුබෝධනී වාර්තාවෙන් ගුරු විදුහල්පති ගැටලු විසඳලා නැහැ ආදි ප්‍රචාර කරමින් අපිව ඉලක්ක කරගෙන අපේ නම් සඳහන් කරගෙන විවිධ ප්‍රචාර කරමින් සිටිනවා. ඒවාට හසු වෙන්න එපා.”