අද දිනයේ විපක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගනු ලැබුවා

ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහ තවත් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වූ බවට ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන මහින්ද ජයසිංහ මහතාව අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පමුණුගම පොලීසිය මගින් ඔහුව සහ තවත් පුද්ගලයෙකුව එලෙස අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිසර අධිකරණය මගින් දී තිබූ නියෝගයට පටහැනිව කටයුතු කර ඇති බවට පෙනීගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම උද්ඝෝෂණයට සහභාගී වූ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එමෙන්ම අද (07) පෙරවරුවේ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු එම 5 දෙනාට සෞඛ්‍ය  නීතිරීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණි.

ඒ අනුව ඔවුන් අද වැලිමඩ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට නියෝග කළේය.

නඩුව යළි සැප්තැම්බර් 6වනදා කැඳවීමට නියමිතය.

ජුලි 01 වනදා බෝගහකුඹුර පොලිස් වසමේ බොරලන්න නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.