රටේ පවතින ඩොලර් හිඟයට පිළියම් සෙවීමේ අරමුණින් රජය පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කොළඹදී අද (19) පැවසීය.

ඩොලර් ගැටලුව විසඳීම සඳහා 0.5% කින් පොලී අනුපාත ඉහළ දැමීමට රජය පියවර ගැනීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම තීරණය දැනටමත් ප්‍රමාද වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ආර්ථිකය සම්බන්ධයෙන් රජය ගනු ලබන තීන්දු හේතුවෙන් නිදහසින් පසු රට මුහුණ දෙන දැවැන්තම මූල්‍ය සහ ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් ඇතිව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය