පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය අවංකව හෙළිදරව් කර ගැනීමට වත්මන් ආණ්ඩුවට උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා.

මේ සම්බන්ධයෙන් අද (19) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී මාධ්‍ය දැනුවත් කිරීමක් සිදුවූ අතර එහිදී සිරිල් ගාමිණි පියතුමා පැවසුවේ පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව් කිරීමට වත්මන් ආණ්ඩුවට බාධාවක් නොතිබිය යුතු බවයි. නමුත් වත්මන් ආණ්ඩුවද එයට යුක්තිය ඉටුකරන බවක් පෙනෙන්නට නැති බවයි පියතුමන් පවසන්නේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කොමිසම් සභාවේ නිර්දේශ අනුව එම සිදුවීමේ වගකීම පැහැර හැරි නිලධාරීන් සහ දේශපාලනඥයින් පිළිබඳ රජය කිසිවක් කතා නොකරන බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අවධාරණය කරනවා.

එබැවින් පාස්කු ප්‍රහාරයේ විමර්ශ කටයුතු නිසි පරිදි සිදු කරන්නැයි බල කරමින් අනිද්දා(21) රට පුරා කළු කොඩි ඔසවා විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටිනවා.

හිටපු නීතිපතිවරයා පැවසූ අන්දමට මේ ප්‍රහාරය පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට විශ්වාස කිරීමට සිදුව තිබෙන බවද හෙතෙම සඳහන් කරන ලද අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් නොව දැනට මතුව තිබෙන සෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ම රජය දරන ආකල්පය සමාන බව ද පියතුමන් වැඩිදුරටත් කියාසිටියහ.