ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ වල පිහිටුවා ඇති සණස සමිති හරහා විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති අතර ඒ හේතුවෙන් එම සණස සමිතිවල තැන්පත්කරුවන් සිය මුදල් අහිමිවී යාමෙන් 2018 වර්ශයේ සිට මේ දක්වා දැඩි පීඩාවට පත්වී ඇති බව Web News අප කල විමර්ශණයකදී අනාවරණය විය.

මේ වනවිට මෙම තැන්පත්කරුවන් අවස්ථා ගණනාවකදී සණස ප්‍රධානීන්ට, සමූපකාර දෙපාර්තමේන්තුවට සහ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලන නායකයින් රැසකට මේ සම්බන්ධයෙන් සිය දුක්ගැනවිලි ඉදිරිපත් කලද කිසිදු සහනයක් නොලද බවයි වාර්තා වන්නේ.

මෙම අක්‍රමිකතා අතුරින් ගම්පහ විගොඩ සණසේ සභාපතිවරයා විසින් සිදුකර ඇති මූල්‍ය අක්‍රමිකතා නිසා තැන්පත්කරුවන් 5000කගේ පමණ රුපියල් කෝටි 75ක පමණ මුදලක් අහිමිවී ඇති අතර අත් අඩංගුවට පත්ව සිටි විගොඩ සභාපති සමීර සේනානායක කොරෝනා අවධානම හේතුවෙන් බන්ධනාගාර තදබදය අවම කිරීම සදහා මේ වනවිට ඇප මත නිදහස් කර ඇත.

සිය තැන්පතු අහිමි වීම සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමකදී සණස තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපති ඒ. ඩබ්ලිව් ජයසිරි මහතා මෙසේ අදහස් පළකලා.

“ගම දියුණු කරන්න නම් රට දියුණු කරන්න නම් සණසේ සල්ලි දාන්න කියලා තමයි ඒ කාලේ ඉල්ලීම් කලේ. ගමේන් නගරයට කියන අදහස තමයි ජනතාවට දුන්නේ. මේකට අති විශාල ජනකායක් රැවටුනා. 2018 වර්ශයේ ඉදලා තමයි මේ සිදුවීම ඇතිවුණේ. සාමාජිකයො විශාල ප්‍රමාණයක් මේ වනවිට විවිධ හේතු මත මිය ගිහිල්ලා තියෙනවා. මුදල් අහිමි වීම නිසා හිතේ අමාරුවෙන් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ විතරක් තැන්පත්කරුවො 10,000කට වැඩියෙන් ඉන්නවා.

ගම්පහ සණස සතු නිවාස සංකීරණ සහ වෙළඳ සංකීරණ මේ වනවිට නිසි නඩත්තුවකින් තොරව පවත්වාගෙන යනු ලබන අතර රුපියල් කෝටි ගණනින් අයෝජනය කර වැඩ ආරම්භ කල ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් අතරමඟ නතර වී හෝ මන්දගාමී තත්වයට පත්ව ඇත. ගම්පහ සුමේධ විද්‍යාලය අසළ ඉදිකර ඇති සණස නිවාස සංකීරණයේ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු කිසිදු සැලසුමකින් තොරව සිදුකෙරෙන බවද අප වෙත වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් අප නුදුරේදීම විශේෂ අනාවරණයක් සිදුකිරීමට සූදානමින් සිටී.