තෙල් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වන අතර තෙල් මිල වැඩි කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලිඛිතව ලබා දුන් බවත් ජනපතිතුමත්, අගමැතිත් ඇතුළු සියල්ලම ගත් තීරණය තමා ප්‍රකාශ කළ අතර සාගර කාරියවසම් මහතා පහර ගසන්නේ තමාට නොව පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට හා පක්ෂය බිහිකළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ කරුණු පිළිබඳව පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ බව පැවසීය.

ඒ අනුව ඉල්ලා අස්විය යුත්තේ තමන් ද සාගර කාරියවසම් මහතා ද යන්න මේ රටේ බුද්ධිමත් ජනතාව තීරණය කරනු ඇති බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.

මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාට අවසරය දුන්නේ කවුදැයි සාගර කාරියවසම් මන්ත්‍රීවරයා හෙළිකර යුතු බවත්, එම පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරුන් තමන්ට කතා කරමින් ඔවුන් කිසිවෙකුත් ඊට අනුබල නොදුන් බව අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුර කියා සිටියා.

එමෙන්ම සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට තමන් සහ විවාදයකට එන ලෙස ද උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙහිදී ඇරයුම් කර සිටියා.